May 04, 2024

මහා පරිමාණ වගාවක් තියුණු ආයුධ වලින් එක රැයින් විනාශ කරලා (PHOTOS)

සරුවට වගා කෙරුණු තක්කාලි, අමු මිරිස් සහ නෝකෝල් වගාවන් මෙන්ම   වගාවට වතුර යොදන විශාල බට ප්‍රමාණයක් විනාශ කර දැමූ සිද්ධියක් පිළිබඳව දඹුල්ල පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ පුවක්අත්තාවල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා බිමක ගොවීන් කීපදෙනෙකුගේ ඉතා සරුවට වගා කර තිබූ අමු මිරිස්, තක්කාලි ගස් කඩුවක් හෝ මන්නා පිහිවලින් කපා විනාශ කොට මෙම වගා බිම සඳහා වතුර රැගෙන යන නල පද්ධතිය තැනින් තැන කපා විනාශ කිරීමේ   සිද්ධියක් පොලීිසියට වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ඉතා සාර්ථක නෝකෝල් වගාවකට වතුර රැගෙන යන නල පද්ධතිය ද විනාශ කර දැමීම හේතුවෙන් දවසක් ඇර දවසක් වතුර යොදන නෝකෝල් වගාව සම්පුූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමක මේ වන විටත් පවතින බව එම ගොවීන් පවසනවා.

තෙල් පොහොර හෝ පහසුකම් කිසිවක් නොමැතිව ඉතා සාර්ථක වගාවක් සිදු කරගෙන යන තරුණ ගොවීන් මෙම අපරාධය උහුලා ගැනීමට නොහැකිව පොලිසිය ඉදිරියේ ම හඬා වැටීමද විශේෂත්වයක්.

මෙම ප්‍රදේශයේ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන යන ඉතා සරුසාර තක්කාලි වගාවක් ද කිසියම් වූ පුද්ගලයන් පිරිසක් විසින් කැත්තකින් හෝ පිහි වලින් කපා කොටා විනාස කර ඇති බව පොලීසිය කියයි.

ඵල හට ගැනීම ආරම්භ කළ තක්කාලි වගාව අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුදු සමයට ඵල නෙළා අලෙවි කිරීම්ට බලාපොරොත්තුවෙන් සිටි බව මෙම නිවුන් සහෝදරියෝ පවසනවා.

කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක පිරිසක් පුවක්අත්තාවල ප්‍රදේශයේ   සරුසාර අස්වැන්නක් බලා සිටීමට නොහැකිව හෝ රටේ ආහාර අර්බුදයක් පවතින අවස්ථාවක පොහොර කෘමිනාශක කිසිවක් නොමැතිව මෙතරම් සාර්ථක වගාවක් දැක රටේ ආහාර අර්බුදය නිර්මාණය කිරීම සඳහා මෙවැනි අපරාධයක් සිදු කළේද යන්න සැක හිතන බව අපරාධය විශාල පාඩුවක් ලැබූ ගොවීන් පවසනවා.

මේ මහා ආහාර විනාශය සිදු කළ පුද්ගලයන්ට නීතිය මගින් දඬුවම් ලබා දිය නොහැකි වුවහොත් අදෘෂ්‍යමාන බලවේග වලින් හෝ දඬුවම් ලබා දිය යුතු බව අසාධාරණයට පත් වූ ගොවීන් දැඩි සිත් වේදනාවෙන් යුතුව සඳහන් කර සිටියා.

 

Rate this item
(0 votes)