April 27, 2024

හැදුනුම්පත වෙළඳසැලකට උකසට තබා දරුවන්ගේ කුසගින්න නිවන මිනිස්සුගේ කදුළු කතාව (PHOTOS)

උග්‍ර ආහාර හිඟයකට මුහුණ පා සිටින තෙලිගු ජන කොට්ඨාස දෙකක් කැකිරාව කලාවැව  ප්‍රදේශයේ  ස්ථාන දෙකක ජීවත් වෙති.

 පවුල් 20 ක පමණ කොටසක් කලාවැව බළලූ වැව ඉස්මත්තේ තාවකාලිකව රැඳී සිටින අතර ඔවුන් පවුල් පිටින් මේ දිනවල තම හැදුනුම්පත වෙළඳසැලකට උගසට තබා ආහාර ලබාගෙන හැදුනුම්පත උගස පියවා ගැනීමට නොහැකිව අන්ත අසරණ ව සිටින බව කියති.

මෙම කණ්ඩායම් නගරවල හඳුන්කූරු අලෙවි කිරීම කතුරු පිහා මුහත් කිරීම ආදී රැකියා නිරත වූ බව පවසති.

තම රැකියාව අහිමිවීම නිසා තැන තැන ඇවිද ගොස් යමක් ඉල්ලාගෙන ආහාර ගත් බවත් මේ දිනවල පවතින තත්ත්වය නිසා නිවෙස් වලට ගමන් කිරීමට සහ රැකියාව කර ගැනීමට නොහැකිව සිටින බව ඔවුහු පවසති.

එමෙන්ම මෙම කණ්ඩායම්  කාලෙන් කාලෙට වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් ජීවත් වූවෝ බවද මේ දිනවල හැදුනුම්පත උගසට තබා තිබීම නිසා සිය ගම්බිම් වලට පවා ගමන් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව දැඩි අසරණව ජීවත් වන බවත් කිසියම් අයකු තමන්ට සහල් ඇටයකින් හෝ උපකාර කරන්නැයි ඔහු දැඩි බැගෑපත්ව ඉල්ලා සිටිති.

ඇතැම් පිරිස් කියා සිටියේ දිනකට එක වේලක් අසීරුතාවයන් ආහාර සපයා ගන්නා බවය. කලාවැවේ බිලි බාමින්  අල්ලාගන්නා මාළුවෙකු ගෙන තම දරුවන්ගේ කුස පුරවා ගෙන ජීවත්වන බවද ඔවුන් කියති.

තෙලිඟු ජනතාව කාලයක් සිට පදිංචිව සිටින කලාවැව ධීවර ගම්මානයේ ද පවුල් 60ක් පමණ ජීවත් වෙතිඔවුන් රැකියාව ලෙස සිදුකරගෙන ගොස් ඇත්තේ අත බලා සාස්තර කීම, රිලා නයි නැටවීම ආදී වෙයි. ඔවුන්ද මේ දිනවල රැකියාවක් නොමැති නිසා දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බව පවසති.

අප මෙම ගම්මානයට යන විට  බත් පිස එළවළුවක් නොමැතිකම නිසා පොල් තෙල් සහ ලුණු දමා ගෙන බත් ආහාරයට ගන්නා අයුරු දැක ගැනීමට හැකි විය.

මෙම ජනතාව බලධාරීන්ගෙන් හෝ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අතීතයේ සිටම මෙරට ජන කොට්ඨාසයක් ලෙස ජීවත්වන තෙළිඟු ජනතාවට යම්කිසි සහනයක් ලබාදෙන ලෙසය.

තෙලිඟු ජනතාව වැඩිදුරටත් කියා සිටියේ තමන්ට කාගෙන් හෝ උදව් උපකාර අවැසි මොහොතක බවය. ඔවුන්ගේ රැකියාව ද සිදු කිරීමට නොහැකිවී ඇත්තේ රටේ පවතින  තත්ත්වය නිසාවෙන් බවත් ඔවුහු පවසති.

මෙම ජන කොට්ඨාස දෙක ස්ථාන දෙකක ජීවත් වන අතර ම්පූර්ණ පවුල් 100ක් පමණ මෙම කලාවැව ප්‍රදේශයේ ස්ථාන දෙකේ ජීවත් වේ .මෙම ජනතාවට වියලි ආහාර ලබාදීමට හැකිනම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් බව ජනතාව පවසති.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 May 2020 15:50