April 27, 2024

හැමෝම කතා කරන අත් සේදීම සොයා ගත්ත කෙනා ගැන ඔබ දැනුවත්ද?

මේ කළු සුදු ඡායාරූපයේ ඉන්නේ Ignaz Semmelweis (1818-1865) කියන හංගේරියානු වෛද්‍යවරයෙක්. මෙතුමා සේවය කරමින් සිටියේ වියානාවල පිහිටි රෝහලක. මෙතුමාගේ රෝහලේ දරු ප්‍රසුතිය සිදුවන වාට්ටු දෙකක් පිහිටලා තිබ්බා. එක වාට්ටුවක් බාර වෙලා තිබුණේ වෛද්‍යවරුන් ට හා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට, අනිත් වාට්ටුව පවුල් සෞඛ්‍ය සේවිකාවන් ට. මෙතුමා මේ වාට්ටු දෙක ගැනම සෑහෙන්න අවධානයකින් තමයි හිටියේ, ඒ ඉන්න අතර එතුමාට විශේෂ දෙයක් නිරික්ෂණය වෙනවා..

ඒ තමයි, පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් පවත්වාගෙන යන දරු ප්‍රසුතිය සිදු කරන වාට්⁣ටුවට වඩා, වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහෙයවන දරු ප්‍රසුතිය සිදු කරන වාට්⁣ටුවේ මාතෘ හා ළඳරු මරණ අනුපාතය වැඩි කියන එක.

එතුමා මේ සිදුවීමට හේතුව හොයන්න පෙළඹුණා. වාට්ටු දෙකේ ම එකම ක්‍රමවේදයට තමයි දරු ප්‍රසුතියන් සිදු කරේ. එනම් කොහොමද මේ විදියට අම්මලා දරුවෝ මැරෙන්නේ ?

එතුමා ට ඒක ලොකු ගැටලුවක් වුණා. ඉතින් තවත් ගැඹුරින් මේ ගැන හොයලා බලද්දී එතුමාට ඒ මාතෘ ළඳරු මරණ සිදුවීමට හේතුව හොයා ගන්න පුළුවන් වුණා.

වෛද්‍යවරුන් දරු ප්‍රසුතිවලින් පස්සේ මරණ පරික්ෂණවලට යොමු වෙනවා. ඒ පරික්ෂණ අතර දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් ආවොත්, ඒ දරු ප්‍රසුතියට යන්නේ මරණ පරික්ෂණයේ වැඩ පමා කරලයි. ඒත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් මරණ පරික්ෂණවලට යොමු වුණේ නැහැ. එයාලා දරු ප්‍රසුතිය විතරයි භාරව හිටියේ.

දැන් වෛද්‍යතුමාට සියල්ල අවබෝධ වෙමින් තිබුණා. එතුමා දරු ප්‍රසුතිය දෙන වෛද්‍යවරයකුගේ සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ දෑත් පරික්ෂා කරලා බැලුවා. ළඳරු මරණ අනුපාතය ඉහළ යාමට හේතුව එතුමා, හොයා ගන්නවා.

ඒ තමයි වෛද්‍යවරුන් ගේ දෑත් පවුල්, සෞඛ්‍ය සේවිකාවන් ට වඩා අපිරිසුදු බවයි. ඒ අපිරිසුදු බව නිසා අලුත උපන් දරුවන් ට හා අම්මලාට ආසාදනයන් සිදු වී මිය යන බව එතුමා අනුමාන කරා.. වෛද්‍යතුමා සියලු වෛද්‍යවරුන් ට හා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට තමන්ගේ මරණ පරික්ෂණ කටයුතුවලින් හා සෑම දරු ප්‍රසුතියකින් පස්සේ ම සබන් යොදා ක්ලෝරීන් මිශ්‍ර ජලයෙන් අත සෝදා ගන්නා ලෙස නියෝගයක් ලබා දෙනවා.

කාලයක් ගත වුණා. වෛද්‍යවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහෙයවපු මාතෘ සායනයේ මාතෘ ළඳරු මරණ අනුපාතය, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මාතෘ සායනයට වඩා පහළ අගයක් ගන්න සමත් වුණා. Ignaz Semmelweis වෛද්‍යතුමාගේ නිරීක්ෂණය නිවැරැදි දෙයක් වුණා. අපිරිසුදු දෑත් සෑම විටකම රෝග හා විෂ බීජ පැතිරීමට හේතුවක් බවට පත් වෙලා තිබුණා.. ඒත් දෑත් පිරිසුදු කර ගැනීම මඟින් ඒ රෝග විෂ බීජ පැතිරීම පාලනය කරන්නට හැකි වුණා.

Ignaz Semmelweis වෛද්‍යතුමා පසුකාලෙක "Father Of Hand Hygiene" නැත්තම් දෑත් සේදීමේ පියා විදියට නම් කරා. ඉතින් සෑම වසරකම මැයි මාසයේ 05 වැනිදා ලෝක අත් සේදීමේ දිනය ලෙස නම් කොට තිබෙනවා.

Rate this item
(1 Vote)