April 26, 2024

සේසතම වියදම් කොට ඉගැන්වූ දරුවන් දෙදෙනාට එපා වූ දෙමාපියන්

සේසතම වියදම් කොට ඉගැන්වූ දරුවන් දෙදෙනාට එපා වූ දෙමාපියන් දෙදෙනෙකු සිය ආබාධිත දරුවෙකු ජීවත් කරවමින් දැඩි අසරණතාවයෙන් පසුවෙති.

සිය ආබාධිත දරුවා සමඟ ජීවත්වීමේ අරගලයක නිරතව සිටින දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා නිවසක දිවිගෙවන ආර්. එම්.ඒ .කේ .  රත්නායක මහතා මෙන්ම ඔහුගේ බිරිඳ ඒ .ජී . ආරියවතී යන දෙදෙනා උපතේ සිට ආබාධිතව තවමත් ප්‍රතිකාර ලබන 24 හැවිරිදි තම දරුවා වන ශෂී කුමාර  ජීවත් කරවීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටිති.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතාබැඳිවැව කිරළගොල්ල තලකිරියාගම  ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම තිදෙනාගේ එකම ඉල්ලීම වන්නේ නොතෙමී ජීවත්වීම සඳහා කුඩා නිවසක් තනා ගැනීම බව ඔවුහු කියති.

කිසිදාක පාසලට නොගිය 24 හැවිරිදි ආබාධිත දරුවා මේ වන විට රැකබලා ගනු ලබන්නේ මෙම මහළු දෙමව්පියන් විසිනි .සිය දරුවා රැකබලා ගෙන මව ආරියවතී නිවසට වී කාලය ගෙවන්නීය. ඇය ද දැඩි අසනීප තත්ත්වයෙන් පසු වන්නීය.

කොහේ හෝ ඇවිද කුලී වැඩක් කරමින් සොයාගන්නා මුදලකින් රත්නායක මහතා බිරිඳත් එකම ආබාධිත දරුවා හටත් වේලක් ඇර වේලක් කන්නට බොන්නට ලබාදීම සිදුකරනු ලබයි.

   මෙම පිරිසට අඩුම තරමේ වැසිකිළියක් හෝ නොමැති වීම බරපතල ප්‍රශ්නයකි. සමුර්ධි සංවර්ධන සමිතියකින් ලැබුණු තහඩු කිහිපයකින් කටුමැටි කුඩා නිවසේ එක් පැත්තක් සෙවිලි කර ගෙන තිබේ.  පිටුපස කොටස ඉටිරෙදි පොල් අතු විවිධ බැනර් ආදියෙන් ආවරණය කොට තිබිණි.

ගෙයි ඇතුලට වැටෙන වැසි බිංදු නවතාගන්න අවට තිබෙන ඉටිරෙදි  රැසක් වහලයේ සවිකොට තිබේ. එහෙත් ඒ තුළින් වැටෙන වැහි බින්දු වලින් කටුමැටි බිත්ති සියල්ල සේදී කඩා වැටීමට ආසන්නව පවති.

ආබාධිත වූ මෙම දෙපළගේ පුතා වූ ශෂී කුමාර රත්නායක කියා සිටියේ දැනට මව සහ පියා ජීවත්ව සිටින නිසා තමන්ට බියක් නොමැති බවය .ඔහුගේ අනාගතය පිළිබඳව ඇත්තේ බරපතළ  ප්‍රශ්නයකි.

මෙම මව සහ පියා හරිහම්බ කළ සියලු දේ වියදම් කරමින් දියණිය   සහ පුතෙකුට හයහතර උගන්වා රැකියා ලබාදී තිබිණි. එහෙත් දියණිය සහ පුතා මව පියා හෝ සහෝදරයා බැලීමටවත් නිවසට නොඑන බව මෙම දෙමාපියෝ කියති.

තමන් කුසගින්නේ වුවත් සිටීමට හැකි බවත් අඩුම තරමේ විස්කිරිඤ්ඤා එකක් හා  කහට කෝප්පයකින් හරි දිවි ගෙවා ගැනීමට ඔවුන්ට හැකි බව පවසන මෙම යුවලගේ එකම ඉල්ලීම බවට පත් වන්නේ කුඩාවට හෝ නොතෙමි ඉන්න කාමර දෙකක් සහ වැසිකිළියක් කවුරුන් හෝ තනා දෙන ලෙසය.

මේ අයගේ ලිපිනය  ආර්. එම්.ඒ .කේ . රත්නායක ,නො 422 ,ඇතා බැදිවැව පාර කිරලගොල්ල තලකිරියාගම ගලේවෙල ,දුරකථන අංකය 071 99 47 837 වෙයි මේ පිරිසට මුදලින් උදව්වක් කරන්නේනම් ලංකා බැංකුවේ දඹුල්ල ශාකාවේ ආර්. එම්.ඒ .කේ .  රත්නායක මහතාගේ නමින් ඇති  ගිණුම් අංක 2677705 බාරකළ හැකිය .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)