April 27, 2024

ඒ මිනිසා සොදුරු දෙමළ වැසියෙකි (PHOTOS)

චන්ද්‍රකුමාර් කන්නන් වවුනියාවේ පදිංචි දෙමළ ජාතිකයෙකි.ඇත්තෙන්ම ඔහුට ස්ථිර රස්සාවක් නොමැත.

යාන්තමට ජීවත් විය හැකි පෞද්ගලික ආයතනයක ඔහු සුළු රැකියාවක් කරගෙන අඹු දරුවන්ද පෝෂණය කරමින් ඉතා සාධාරණව ජීවත් වෙයි.

පසුගිය සැප්තැම්බර් විසිපස් වෙනිදා හදිසියේම දුරකතන ඇමතුමක් ලබා දුන් චන්ද්‍රකුමාර් කන්නන් මගෙන් ඉල්ලා සිටියේ ආර්ථික අපහසුකම් ඇති පාසල් සිසුන් දස දෙනෙකු තෝරා දෙන ලෙසයි.

කාරණය විමසූ විට ඔහු කියා සිටියේ පොත් කීපයක් බෙදා දීමට අවශ්‍ය බවයි.

වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙණේ එස්.ජයමන්ත මහතාට මම කතා කොට මේ කාරණය මතක් කළේය.ඔහු ළමයින් දස දෙනෙකුගේ නාම ලේඛනයක් සපයා දුන්නේය.මම ඒ නාම ලේඛනය  අතට පත් කළේය.

සැප්තැම්බර් 30 දා සවස ඔහු දුරකතන ඇමතුමක් ලබා දී

''අයියා මම හෙට උදේම එනවා..පොත් පාර්සල් කරණ ගමන් ඉන්නේ යැයි '' දැනුම් දුන්නේය.

උදෑසන අටට කළින්  චන්ද්‍රකුමාර් කන්නන් පිරිවෙණට පැමිණියේ කුඩාම කුඩා යතුරු පැදියකිනි.

කාඩ්බෝඩ් පෙට්ටියක පොත් පාර්සල් දමාගෙන පැමිණි ඔහු ජයමන්ත මහතා විසින් තෝරා දුන් නාම ලේඛනයට අනුව පොත් පාර්සල් දහය ළමයින් දස දෙනා වෙත බෙදා දෙණු ලැබීය.

 ''මම ඉපදුණු මේ පළාතේ ළමයින් ඉගෙන ගන්න වෙහෙස වෙන අන්දම ගැන මට නිතරම පේනවා.ඉතින් මම කල්පනා කළා ලෝක ළමා දිනය සමරණ දවසේ සිංහල,දෙමළ මුස්ලිම් ළැමයින් තිස් දෙනෙක් තෝරලා ඒ අයට ලියන පොත් පාර්සලය බැගින් දුන්නොත් හොදයි කියලා.ඉතින් මම අද ඒක කලා.

මම මේ ළමයි ඉගෙන ගන්න දරණ උත්සාහය හොදින් දැක්කා.ලබන ජනවාරියේ මේ ස්ථානයේ ළමයි විසිපස් දෙනෙකුට මම ලියන පොත් පාර්සල් විසි පහක් දෙන්න කල්පනා කළා.

මුලින්ම කියන්න ඕනේ ළමයා සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.මේ හැම ළමයෙක්ම හොදට ඉගෙන ගෙන මුළු පළාතටම සේවය කරන්න ඕනේ.

අනෙක් කාරණය තමයි මේ කිසිම කෙනෙක් ළග සිංහල දෙමළ මුස්ලිම් කියලා ජාතිභේද ආගම් භේද තියා ගන්න හොද නැහැ.මේ අය ඉගෙන ගන්න ඕනේ.

මම සතුටු වෙනවා.ආණ්ඩු ජාතික සංහිදියාව සමගිය තියෙන්න ඕනේ කියලා දැන් කියන්නේ.ඒත් වවුනියාවේ ජීවත් වෙන සියළුම දෙනා අතරේ මේක එදා ඉදලා තිබුණා.

මහා යුද්ධ කාලෙවත් සිංහල දෙමළ සාමාන්‍ය මිනිස්සු එකිනෙකා ගහගෙන මරා ගත්තේ නෑ.

මේ දේ හැමදාම මේ මිනිස්සු අතරේ තියෙන්න ඕනේ.මම එහෙම හිතලා එහෙම ප්‍රාර්ථනා කරලා තමයි මේ මට පුළුවන් විදිහට ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්නේ.

චන්ද්‍රකුමාර් කන්නන් ඉතාම හැගීම් බරව මේ කතාව කියා ළමයින්ට පොත් පාර්සල් බෙදා දී පිරිවෙණෙන් පිටව ගියේ දැඩි සතුටකිනි.

ඔහු සිතා ගත් දේ නිම කළද ඔහු ගැන කතා කිරීමට බොහෝ දේ ඉතිරි කොට තිබේ.

මඩුකන්ද ශ්‍රීධම්මරතන විද්‍යායතන පිරිවෙණේ පරිවේණාධිපති කුරුදුගොඩ පඤ්ඤාසාර හිමියෝ මේ අවස්ථාවට සහභාගී වෙමින් කියා සිටියේ ''රටේ පළාතේ සිදුවන දේ දෙස බලන විට චන්ද්‍රකුමාර් කන්නන් වැන්නවුන්ට මෙවැනි අදහස් පහල වීමද සියළු දෙනා විසින් අගය කළ යුතු බවයි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)