April 26, 2024

පන්නිපිටිය ශී‍්‍ර දෙව්රම් මහා විහාරයේ මැදින් මහා පෙරහැර

දෙව්රම් මහා විහාරයේ වාර්ෂික මැදින් මහා පෙරහැර මංගල්‍යය 11 වෙනි වරටත් මාර්තු මස 20 වන දින සිට 31 වෙනි දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

මාර්තු 20 වෙනි දින සති ශීල සමාදාන වැඩසටහනත් එදින රාත‍්‍රියේ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සමගින් පෙරහැර මංගල්‍යය ආරම්භ වේ.

සරණ මංගල ආශිර්වාද පෙරහැර

මාර්තු 21 වෙනි දින සවස 5.00 ට යහපත් වූ විවාහයක් අපේක්‍සා කරන තරුණ දූවරුන් වෙනුවෙන් සෙත් පැතීමේ සරණ මංගල ආශීර්වාද පෙරහැර පැවැත්වේ. සුද්ධෝදන මහ රජතුමා මයා කුමරියව සරණ පාවාගෙන රජ මැදුරට කැඳවාගෙන ආ අසිරිය සිහි කරමින් මෙම පෙරහැර පැවැත්වෙන අතර ඒ අනුහසින් තරුන තරුණියන් වෙනුවෙන් සෙත් පැතීම සිදු කරයි. යහපත් වූ විවාහයක් අපේක්‍ෂා කරන සැමට මේ සඳහා සහභාගී වී සරණ මංගල්‍ය ආශිර්වාද පෙරහැරේ ගමන් කර එම පූජාවට සම්බන්ධ වී ආශිර්වාද ලැබිය හැකිය. එසේම විවාහ වී දරුවන් නොමැති යුවතිපතීන්ට ද බෝසත් දරුවෙකු පතන්නේ නම් මේ සඳහා සහභාගී විය යුතුය. පූජාව අවසානයේ විශේෂයෙන් සෙත් පතන ලද ආශිර්වාදාත්මක තිළිණයක් සහභාගී වන සියළු තරුණ තරුණියන් වෙනුවෙන් ලබාදීමට කටයුතු යොදා ඇත.

ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර

ගැබිණි මව්වරුන් වෙනුවෙන් සෙත් පතමින් නිදුක් නිරෝගී දරුවෙකු කිසිදු කරදරයකින් තොරව මොළොව බිහි කිරීම වෙනුවෙන් ආශිර්වාද කරමින් පැවැත්වෙන ගැබිණි මාතා ආශිර්වාද පෙරහැර මාර්තු 22 වෙනි දින සවස 5.00 ට පැවැත්වෙන අතර මහමායා කුමරිය සිදුහත් කුමරු කුසේ හොවාගෙන දරුවා බිහිවීම පිණිස කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවරට පෙරහැරින් ගමන් කළ අසිරිය සිහිපත් කරමින් මෙම පෙරහැර පැවැත්වේ. ඒ අනුහසින් ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් සෙත් පැතීම සිදුවේ. පෙරහැර අවසානයේදී ගැබිණි අම්මාවරුන් වෙනුවෙන් සහ උපදින්නට සිටිනා දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක තිළිණයක් ලබාදීම සිදුවේ.

කිරිදරු ආශිර්වාද පෙරහැර

දෙව්දහ නුවර යන ගමන අතරමග ලූම්බිණි සල් උයනේදී සිදුහත් කුමරු බිහි වීමෙන් අනතුරුව නැවතත් මහමායා කුමරිය මතු බුදුවන බෝසත් පුතු ද කරපින්නාගෙන කිඹුල්වත් නුවරට සපැමිණි මහ පෙරහැර සිහි ගන්වමින් මාර්තු 23 වෙනි දින සවස 5.00 ට කිරි දරු ආශිර්වාද පෙරහැර පැවැත්වේ.

කිරිකැටි දරුවන් වෙනුවෙන් සෙත් පතමින් පැවැත්වෙන මෙම පෙරහැර අවසානයේ එම දරුවන් වෙනුවෙන් විශේෂ ආශිර්වාදාත්මක තිළිණ ලබාදීම සිදු කෙරේ.

මහ පෙරහැර

පරිවාර පෙරහැර 03 අවසානයේ දී මහා පෙරහැර ලෙස ති‍්‍රවිධ රත්නය වෙනුවෙන් උපහාර පුදන තෙරුවන් ගුණ මහා පෙරහැරත් බුදු දෙමාපියන් ප‍්‍රධාන සමස්ථ මව්පියවරුන් වෙනුවෙන් උපහාර පුදමින් මොලොව පහල වූ පුණ්‍යවන්තම දෙමාපියන් වන සුද්ධෝදන මහාමායා දෙපළ පෙරමුණේ තබාගෙන පැවැත්වෙන සුද්ධෝදන මහාමායා පෙරහැරත්, ලක් පොළෝ තලය සුරක්ෂිත කරන්නටත් රටවැසි ජනතාව සුඛිත මුදිත කරන්නටත් දිවි හිමියෙන් කැප වී මහා රාවණ රජු ප‍්‍රධාන රජවරුන් අනුස්මරණය කරමින් මහා රාවණ රජතුමා පෙරටුකොට හෙළ මහා රජ පෙරහැරත්, ලෙසිත් පෙරහැර 03 ක එකතුවක් ලෙස මැදින් මහා පෙරහැර මාර්තු මස 24 වන දින පැවැත්වේ.

මැදින් මහා පෙරහැරේදී බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් ආර්ය මහා සංඝ රත්නයටත් ප‍්‍රථම පූජෝපහාරය දක්වයි. උඩරට සම්ප‍්‍රදායට මුල්තැනක් ලබාදෙන තෙරුවන් පූජා මහ පෙරහැරේදී රන් කරඬුව තුළ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේලා මංගල හස්තියා මතින් වැඩම කෙරේ. ශ‍්‍රී ලංකාවේ ති‍්‍රපිටක ධර්මය කළුගල් පුවරුමත ලියා ඇති පුදබිම දෙව්රම් විහාරය බැවින් එයට උපහාර කිරීම වශයෙන් ති‍්‍රපිටක ධර්ම ශිලා පුවරුව දෙවන මංගල ඇතු පිටින් වැඩම කරවයි. ආර්ය මා සංඝරත්නය තෙවනුව වැඩම කරවයි.

ඒ පිටුපසින් සුදොවුන් මහමායා පෙරහැර ගමන් කරයි. බෝසත් පුතු මෙළොව ජනිත කළ සුද්ධෝදන මහමායා දෙපළ ප‍්‍රධාන බෝසත් දරුවන් මෙලොව බිහි කර හදාවඩා පෝෂණය කොට සමාජයට වැඩ ඇති දරුවන් බවට පත් කළ සියළු මව්පියවරුන්ට උපහාර පිදීම මෙම පෙරහැරේ අරමුණයි. එවැනි මව්පියවරුන් අතර බුදු දෙමාපියන් පෙරමුණේ සිටින නිසා සුද්ධෝදන මහ රජතුමාගේත් මහමායා දේවියගේත් ප‍්‍රතිමා වහන්සේලා අශ්ව රථය මතින් පෙරහැරේ වැඩම කරවන අතර සුද්ධොදන මහමායා පෙරහැර සබරගමුව සම්ප‍්‍රදායේ නැටුම්වලට මූලිකත්වය ලබා දෙමින් වීථි සංචාරය කරයි. කාන්තාවට ද මෙම පෙරහැරේ මූලිකත්වයන් ලැබෙන අතර රජ පෙරහැරක අසිරියට මෙයින් නිරූපණය වෙයි.

ඒ පිටුපසින් පෙළ ගැසෙන්නේ ලක් පොළෝ තලය ආරක්‍ෂා කර ගන්නටත් ඒ තුළින් ජාතියත් ශාසනයත් සුරකින්නටත් දිවි දෙවෙනි කොට කටයුතු කළ මහා රාවණ රජු ප‍්‍රධාන අපේ අතීත මහරජවරුන් අනුස්මරණය කරමින් ගමන් කරන පෙරහැර වන මහා රාවණ පෙරහැරයි. ලක් පොළොවේ සිට විශ්වයම පාලනය කරන්නට තරම් වූ ශක්තියකින් හෙබි දසවිධ ඥානයකින් පරිපූර්ණ වූ මහා රාවණ රජතුමා අපේ රජවරුන් අතර අති ශ්‍රේෂ්ඨතමයා නිසා සියළු රජවරුන් වෙනුවෙන් මහා රාවණ රජතුමාගේ ප‍්‍රතිමාව මෙම පෙරහරේ හස්තියා පිට වැඩම කරවයි. පහතරට සම්ප‍්‍රදායට ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙන හෙළ මහ රජ පෙරහැරේ ගමන් කරන සියළු ශිල්පීන් පිරිමි පමණක් වේ.

මහා පෙරහැර අවසානයේ මාර්තු 25 වෙනිදා අළුයමේ දිය කැපීමත් මහා රාවණ නානුමුර පූජාවත් දේව දානයක් පැවැත්වේ. සන්ධ්‍යාවෙහි මහා පහන් පූජාවක් පවත්වා දෙවියන්ට පින් දීමෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වේ. මාර්තු මස 30 වන දින මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාති‍්‍රික මායා මඩු දේව ශාන්තිකර්මය සිදු කරන අතර 31 වෙනි දින අළුයමේ මහමායා නානුමුර පූජාවත් කිරි දානයත් පැවැත්වේ.

විශේෂයෙන්ම ඉදිරියේදී ලොව තුළ ඇතිවීමට නියමිත යුධ ගිනිදැල් ඇති නොවීමටත්, ගිණිකඳු පුපුරා යෑම් තුලින් ලොව මුදවා ගැනීම පිණිසත්, රාජ්‍ය නායකයින් තුළ දැහැමි සිතුවිලි ඇතිවී සාමකාමී සහජීවනයෙන් පිරි ලෝකයක් වෙනුවෙන් සෙත් පැතීමත්, මේ පෙරහැර මංගල්‍යයේ මූලික අරමුණකි.

පෙරහැර මංගල්‍යයට සමගාමීව දින 09 පුරාම සීල සමාදාන වැඩසටහන් ධර්ම දේශනා, සිරි දළදා උපහාර මහා බුද්ධ පූජාවන්, බෝධි පූජා, දේව පූජාවන්, මහා දන්සැල් ආදී කටයුතු රැසක් සංවිධානය කර ඇත.

දෙව්රම් මහා වෙහෙර පෙරහැර මංගල්‍ය හුදු පෙරහැරක් පමණක් නොව ඒ හරහා දුෂ්කර විහාරස්ථාන සඳහා ආධාර උපකාර කිරීම, වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාසිකව මුදල් පූජා කිරීම, වැසීගිය හෙළ ඉතිහාසය මතු කිරීමට මූල්‍ය ශක්තිය සැපයීම, බෞද්ධාගමික තරුණ වැඩමුළු සංවිධානය කිරීම, දක්ෂ දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්වය පිරිනැමීම, ආර්ථික අපහසුතා ඇති ප‍්‍රදේශවාසීන්ට පොලී රහිත ණය ලබාදීම, නිවාස නැත්තවුන්ට නිවාස ඉදිකරදීම හා විශ‍්‍රාම ශාලා පහසුකම් ලබාදීම ආදී විවිධ මෙහෙවරයන් රැසක් සිදුවේ.

පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහ වෙහෙර නිර්මාතෘවර
ආචාර්ය කොලොන්නාවේ සිරි සුමඞගල
(වැ.බ.) මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 March 2018 17:10