April 27, 2024

හදවත් සැත්කම් කිරිමට මෙරටට පැමිණෙන විදේශිය වෛද්‍යවරයා (PHOTOS)

රිචඩ් පර්මන් එංගලන්තයේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකි. ඔහු දැනට වසර විස්සක පමණ සිට අපේ රටේ ළමා හා වැඩිහිටි හෘද සැත්කම් කිරිම සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙයි .සෑම වර්ෂයකම තුන් හතර වතාවක් රිචඩ් පර්මන් වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන්නේ අපේ හදවත් රෝගින්ට පිහිටවිම සදහාය.

ඔහු එංගලන්තයේ සිට මෙරටට පැමිණ ස්වෙච්ඡාවෙන්ම සංකිරණ තත්වයේ හදවත් සැත්කම් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරයි. රිචඩ් පර්මන් වෛද්‍යතුමා මෙවර මෙරටට පැමිණි අවස්තාවේදි ඔහු අපට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මුණගැසුණි.

දැන් රිචඩ් පර්මන් වෛද්‍යතුමාගේ වයස අවුරුදු 67කි. මිට වසර විස්සකට පමණ පෙර මෙරටට පැමිණිමට හේතුවු කරුණු කාරණා විස්තර කරමින් අප සමග මෙසේ කිවේය.

හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකුවන රංජිත් ලියනගේ මහත්තයා 97 වර්ෂයේ දි අධ්‍යයන කටයුතු සදහා එංගලන්තයට පැමිණ සිටියා. ඔහු මාත් සමග එංගලන්තයේ ලෙක්චර් රෝහලේ වැඩ කළා. කුඩාදරුවන්ගේ හදවත් සැත්කම් කළා. මේ අතර මහචාර්ය හරේන්ද්‍ර සිල්වා ඒ කාලයේ වැඩ කරලා තියෙන්නේ කරාපිටිය රෝහලේ.

ඔහු රංජිත් ලියනගේ මහත්තයාට කියලා තිබුනා. හදවත් රෝගවලට ගොදුරුවෙලා ගාල්ලේ දරුවන් ගොඩක් මිය යනවා. ඒ සදහා උදව්වක් කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා. ඒ අනුව තමයි 97 වර්ෂයේ දි මම මුල්වරට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණියේ. ඒ කාලයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් කළේ නැහැ.

මම එන්න ඉස්සෙල්ලා කරාපිටියට එංගලන්තයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු එවලා හදවත් සැත්කම් කරන්න පුළුවන්ද කියලා සොයලා බැලුවා. ඒ කාලයේ එතරම් පහසුකම් කරාපිටිය රෝහලේ තිබුණේ නැහැ. අපහසුවෙන් හරි කරන්න පුළුවන් කියලා ඔවුන් මට කිවා.

ඒ අනුව මුලින්ම හදවත් සැත්කම් කටයුතු සදහා අවශ්‍ය උපකරණ කරපිටිය ශික්ෂණ රෝහලට ගුවන් මගින් එවිමට කටයුතු කළා. පස්සේ එංගලන්තයේ සිට වෛද්‍යවරු,හෘද නිමේෂකයින්, හෙදියන් කාර්මික ශිල්පින් සමග අපි කණ්ඩායමක් ආවා. ඒ කාලයේ වෙනම කරාපිටිය රෝහලේ හෘද හා උරස්කුහර ඒකකයක් තිබුණේ නැහැ. සාමාන්‍ය ශල්‍යාගාරවල තමයි සැත්කම් කළේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහාචාර්ය හරෙන්ද්‍ර සිල්වා මට ගොඩක් උදව් කළා. ඒ විදියට තමයි මුලින්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් කිරිම ආරම්භ කළේ. අන්තිමට රුවන් ඒකනායක හා හරේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් එකතු වෙලා කරපු ව්‍යාපෘතියක් බවට මෙය පත් වුනා.

ළමා හදවත් සැත්කම් මෙන්ම වැඩිහිටි සැත්කම් කළා 97 වර්ෂයේ සිට 2001 වසර දක්වා කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් කිරිම ව්‍යාපෘතියක් විදියට කළා. ඊට පස්සේ මම මෙරට පුද්ගලික රෝහල්වලත් හදවත් සැත්කම් කළා.2012 වර්ෂයේ දි මම විශ්‍රාමිකයි. හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මියගේ ඉල්ලිමකට අනුව නැවත කරාපිටිය රෝහලට පැමිණියා.

සංකීර්ණ තත්වයේ පවතින දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ හදවත් සැත්කම් කරනවා. මෑතක සිට වසරකට තුන් හතර වතාවක් කරාපිටිය රෝහලට පැමිණ හදවත් සැත්කම් කරනවා. සති තුනක් හතරක් විතර ඉන්නවා. මගේ පුද්ගලික වියදමින් තමයි මෙරටට පැමිණෙන්නේ. හදවත් රෝග සමග බැලුවොත් ලංකාවේ වසරකට හදවත් සැත්කම් කළයුතු කුඩා දරුවන් 2500ක් විතර ඉන්නවා.

මින් සියයට විස්සක් විතර තමයි සංකීර්ණ තත්වයේ හදවත් සැත්කම් තියෙන්නේ කොළඹ රිජ්වේ ළමා රෝහලේ වසරකට හදවත් සැත්කම් 1000ක් විතර කරණවා. යැයි රිචඩ් පර්මන් වෛද්‍යතුමා කිවේය.

හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය රිචඩ් පර්මන් වෛද්‍යතුමන් ගැන මේසේ කිවාය. ඇත්තටම මෙම වෛද්‍යතුමා ලොකු සේවාවක් අපේ රට වෙනුවෙන් කරනවා. හදවත් රෝගින් සුවපත් කරන්න ඔහු කරණ සේවය විශිෂ්ඨයි.

මෙකි වෛද්‍යතුමාගේ තියෙන දැනුම හා පළපුරුද්ද අනික් වෛද්‍යවරුන්ට බෙදා දෙනවා සංකීර්ණ තත්වයේ හදවත් සැත්කම් කරන්න පුළුවන් වෛද්‍යවරුන් කිහිප දෙනා අතර රිචඩ් වෛද්‍යතුමාද එක් අයෙක්. ඔහු මෙරටට පැමිණි විට වැඩි වශයෙන් කරන්නේ සංකීර්ණ තත්වයේ හදවත් සැත්කම් ඒ විතරක් නෙවෙයි එක්මෝ ප්‍රතිකාර ක්‍රමය අපට හඳුන්වලා දුන්නේ මේ වෛද්‍යතුමා බවද විශේෂඥ වෛද්‍යවරිය කිවාය.

ඒ විතරක් නොව එක්මෝ නැමති යාන්ත්‍රික ප්‍රථිකාර ක්‍රමය. එංගලන්තයට හදුන්වා දිමට මුල්වුයේ හෘද හා උරස් ශල්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය රිචඩ් පර්මන් මහතාය. අපේ රටටද මෙකි ප්‍රථිකාර ක්‍රමය හදුන්වා දිමට මුල්වුයේ ද රිචඩ් ජර්මන් වෛද්‍යතුමාය. හේ මෙකි ප්‍රථිකාර ක්‍රමය පිළිබද පරතෙරට දත් අයෙකි. රිචඩ් වෛද්‍යතුමා මේ වනවිට රෝගින් 1500කට පමණ මෙම ප්‍රථිකාර ක්‍රමය සිදු කොට තිබේ.

(ගාල්ල ලලිත් චාමින්ද )

Rate this item
(1 Vote)