April 26, 2024

ගණිත ගුරුවරුන් හා සිසුන් තුළ ජ්‍යාමිතිය ආශ්‍රිත චින්තන හැකියා සංවර්ධනයට කතිකාවතක්

February 14, 2018

උසස් මට්ටමේ චින්තන හැකියා ලබා දෙන ජ්‍යාමිතිය සම්බන්ධව ගණිත ගුරුවරුන්ගේ සහ විෂය හදාරන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා ජ්‍යාමිතිය පිළිබඳ කතිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අධ්‍යාපන ශාඛාව විසින් අද (14) දවස පුරා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වනු ලැබීය.

සිසුන් තුළ උසස් මට්ටමේ චින්තන හැකියා වන තර්කානුකූල සිතීම, විද්‍යාත්මකව දැකීම මෙන් ම ගැටළු විසඳීමේ කුසලතා සංවර්ධනය කිරීමට ගණිත විෂය තුළ අන්තර්ගත ජ්‍යාමිතිය ඉවහල් වනවා.  නමුත් පසුගිය වසර කිහිපයක සිට අ.පො.ස. (සා.පෙළ) ගණිතය විෂය ප්‍රශ්න පත්‍රයේ ජ්‍යාමිතිය ආශ්‍රිත ප්‍රශ්න පිළිතුරු සැපයීම සඳහා සිසුන් විසින් තෝරා ගැනීම ඉතා අඩු මට්ටමක පැවති බවත් ඔවුන් සපයා තිබූ පිළිතුරු ද අපේක්ෂිත මට්ටමක නොතිබූ බවත් විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ඇගයීම් වාර්තා අනුව හඳුනා ගෙන තිබේ.

මේ අතර විද්‍යාත්මක පදනමක් මත විෂය ඇගයීම් සිදු කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජ්‍යාමිතිය පිළිබඳ අතීත, වර්තමාන හා අනාගත දිශානතීන් හඳුනාගැනීම අරමුණු කර ගනිමින් පැවති මෙම කතිකාවතේ දී ඉස්මතු වූ අදහස් සහ යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අධ්‍යාපනය පිළිබඳ විද්වත් කමිටුවට යොමු කර ගණිත අධ්‍යාපන සංවර්ධනය සඳහා ඒවා යොදාගැනීමට  නියමිතය.

මෙරට ගණිත අධ්‍යාපනය වෙනුවෙන් අතිවිශාල සේවයක් සිදු කළ මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය මහතාගේ සියවන ජන්ම දින සැමරුම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව සහ ජේ.ඊ. ජයසූරිය පදනම එක්ව සංවිධානය කළ මෙම කතිකාවත අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවේ දී මහාචාර්ය ජේ.ඊ. ජයසූරිය මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද සිදු කෙරිණි.

 

Rate this item
(0 votes)