April 27, 2024

පොලිසිය සරම කැඩුවා යැයි කියූ සිසුවා පාසල් යන්න බෑ කී කතාවේ ඇත්ත හෙළිවේ

November 15, 2017

හලාවත පොලීසියේ නිලධාරියෙකු විසින් පාසල් සිසුවෙකු ප්‍රසිද්ධ ස්ථානයක නිරුවත් කළ බව කියන සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳව විමර්ශනය කළ හැකි බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු පවසයි.

කෙසේ වෙතත් මේ වන විට එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව සඳහන් වේ.

පොලිස් නිළධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී නිරුවත් කිරීම නිසා අපහසුතාවට පත් වූ පාසල් සිසුවෙකු පිළිබඳ තොරතුරු හලාවත ප්‍රදේශයෙන් වාර්තා විය.එමෙන්ම මේ හේතුව නිසා සිසුවා පාසල් යාමද ප්‍රතික්ෂේප කොට නිවස තුළටම වී කාලය ගත කරන බව ඔහුගේ දෙමව්පියන් පවසයි.

මීට අමතරව සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිතව ඇති බැවින් විභාග කටයුතුද අඩපණ වී ඇති බව දෙමව්පියන්ගේ චෝදනාවයි.

පසුගිය 11 වනදා හලාවත මාලිගාවත්ත ප්‍රදේශය පැමිණි හලාවත පොලීසියේ නිළධාරීන් පිරිසක් වැටලීමක් සිදුකර ඇත.

එම අවස්ථාවේදී කිසියම් හේතුවක් මත මෙම සිසුවා ඇඳ සිටි සරම කඩා ඉවත් කිරීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් සිද්ධිය වන විට ඒ අවට ප්‍රදේශවාසින් සහ දරුවාගේ යහළුවන් සිට ඇති බැවින් තම දරුවා දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ඔහුගේ පියා පවසයි.

පොලිස් නිලධාරියෙකු විසින් තම සරම කඩා දැමීම නිසා පාසල් යාමට නොහැකි බව කියන සිසුවා පාසල් යාම මග හැර ඇත්තේ බාල වයස්කාර සිසුවියක් දුෂණය කිරීමේ සිද්ධියක් නිසා බව හලාවත පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද තොරතුරක් අනුව හලාවත පොලීසිය විසින් කරන ලද විමර්ශණයකින් අනතුරුව වයස අවුරුදු 16 ක් වන සැකකාර සිසුවාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් දුෂණය කර ඇත්තේ වයස අවුරුදු 10 ක් වන පාසල් සිසුවියක් වන අතර සැකකරු සහ අතවරයට පත්ව ඇති දැරිය අසල්වැසියන් බව පොලීසිය කියයි.

පසුගිය ඔක්තොම්බර් මාසයේ සෙනසුරාදා දිනයක සැකකරු දැරියගේ ඥාතියෙකුට අයත් නිවසකදී මෙම අපරාධය සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.

මේ බව කිසිවෙකු හා පැවසුවහොත් තමන්ව මරා දමන බවට සැකකාර සිසුවා පැවසූ බවද අතවරයට පත්ව ඇති දැරිය පොලීසියට පවසා ඇත.

අතවරයට පත්ව ඇති දැරිය තමන් මුහුණ දුන් තත්ත්වය  පාසලේ ගුරුවරියක හා පවසා ඇති අතර එම ගුරුවරිය දැරියගේ මව්පියන් කැදවා මේ බව දැණුම් දීමට කටයුතු කර ඇත.

ඒ අතර සිද්ධිය පිළිබඳ දැරියගේ ඥාතියෙකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැණුම් දීමට කටයුතු කර ඇත.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හලාවත පොලීසියට කරන ලද දැණුම් දීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පාසල් සිසුවා පාසල් යාමට මැළිකමක් දක්වා ඇත්තේ බාල වයස්කාර දැරිය දුෂණය කිරීමෙන් අනතුරුව බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී හෙලිවී ඇත.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

මේ පිළිබඳව හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

 

Rate this item
(0 votes)