April 26, 2024

පුංචි දුලාංජලිට ජනපති අතින් තෑගි - නව නිවසක්ද ලබා දෙන බවට පොරොන්දුවක්

ගලේවෙල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පහළ දිග්ගල ප‍්‍රාථමික විද්‍යාලයීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ බී.ඞී. දුලාංජලී මදුමාලී ප්‍රේරමරත්න ශිෂ්‍යාව ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වූවාය.

හිසට නිසි සෙවණක් මෙන්ම පිය රැකවරණය ද අහිමිව ආර්ථික අපහසුතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ දුලාංජලී මදුමාලී ප්‍රේරමරත්න ශිෂ්‍යාව ලකුණු 168 ක් ලබා ගනිමින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්වූ අතර සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු නිමවනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් මුදලක් ගෙවීමට ද පොරොන්දු විය.

එමෙන්ම දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාව වෙනුවෙන් නව නිවසක් ඉදි කර දීමට මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයා වෙත පොරොන්දු විය.

දුලාංජලී මදුමාලී ප්‍රේමරත්න ශිෂ්‍යාවට වර්ෂයකට සරිලන පාසල් පොත් සහ ත්‍යාග රැසක් ද ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.

පහළ දිග්ගල ප‍්‍රාථමික විද්‍යාලය ආරම්භ කර මේ වන විට වසර 45 ක් වන අතර එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 96කි. එදා මෙදා තුර කාලයේ මෙම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් එකම ශිෂ්‍යාව වන්නේ බී.ඞී. දුලාංජලී මදුමාලී ප්‍රේරමරත්නයි.

Rate this item
(0 votes)