April 26, 2024

දෙවන හදවත් සැත්කම සාර්ථකයි

September 28, 2017

පැය හයක පමණ කාලයක් ගතවූ මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු 20 දෙනකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.හෘදය අකර්මන්‍යය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාස 07 ක පමණ කාලයක් මහනුවර මහ රෝහලේ හෘද හා උරස් ශල්‍යය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සචිනි සෙව්වන්දි (19) නැමැති අලුත්ගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් හෘදය බද්ධ කිරීමේ සැත්කමට ලක්වූ අතර ශල්‍යකර්මයෙන් පසු දියණිය සුවෙන් පසුවන බව සඳහන් වේ.

පසුගිය 19 දින සෙව්වන්දි තරුණියට හදවතක් බද්ධ කිරීම සඳහා සියලු කටයුතු සිදුව තිබියදී වෛද්‍යවරුන් අතර පැවැති මතබේදයක් හේතුවෙන් එය එදින සිදු නොකෙරිණි.

ශල්‍යකර්මය අවස්ථාවේ භාවිත කරන යන්ත්‍ර වල අඩුපාඩුවක් හේතුවෙන් එදින ශල්‍යකර්මය සිදු නොකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ.

පසුගිය ජූලි මස 07 දින මෙරට ප්‍රථම හදවත් බද්ධය සඳහා මුල පුරමින් මහනුවර මහ රෝහලේ හෘද හා උරස් ශල්‍යය ඒකකයේදී හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකළ අතර එම රෝගීයා මේවන විට සුවෙන් පසුවෙයි.

දෙවන හදවත් සැත්කම ඊයේ (27) අලුයම සිදුකර අවසන් වූයේ ඊට මාස 2 1/2 කට පසුය. යතුරු පැදි අනතුරකින් පසු බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කළ තළාතුඔය කපුලියද්ද ප්‍රදේශයේ පදිංචි නලින්ද බණ්ඩාර සකලසූරිය (28) නැමැති අයගේ ශරීර අවයව පරිත්‍යාග කිරීමට ඔහුගේ පියා සහ මව කැමැත්ත පල කිරීමෙන් අනතුරුව ඔහුගේ හදවත මේ බද්ධය සඳහා යොදා ගැණිනි.

සෙව්වන්දිගේ පළමු සැත්කම මඟ හැරීමෙන් පසු සෞඛ්‍යය,දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ අදාළ වෛද්‍ය කණ්ඩායම කොලඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත් වනු ලැබීය.සියලු මතබේද දුරු ‍කොට හදවත් බද්ධ කිරීම යළි සිදු කිරීමට වෛද්‍යවරු එහිදී ඇමැතිවරයාට පොරොන්දු වී තිබේ.එම සාකච්ඡාව පවත්වා දිනකට පසු මේ හදවත් බද්ධය සාර්ථකව සිදු කිරීම විශේෂත්වයකි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 September 2017 11:35