April 26, 2024

අනුන්ගේ ලිංගික ජීවිත ප්‍රසිද්ධ කරන අයට දඬුවම්

මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතය පුද්ගලික දෙයක් විදියට සැලකුවේ. ඒ වගේම ඒ පුද්ගලිකත්වය කිසිම දවසක අදාළ දෙන්නගෙන් පිට කව්රුවත් දැනගත්තේ නැහැ.

එත් මේ වෙද්දී සමාජ මාධ්‍ය ජාල එක්ක මේ සිද්ධිය ටිකක් වෙනස් විදියට සිදු වෙනවා. 

අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම මේ වෙද්දී මහා වසංගතයක් වෙන තරමට උග්‍ර වෙලා.

පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබුණා.

අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත්, ඉන්පසු ප්‍රසිද්ධ ක්‍රීඩා තරුවකගේ වීඩියෝවක් අන්තර්ජාලයට එක කිරීමත් සමඟ මේ පිළිබඳව විශාල කතිකාවක් සමාජයේ ගොඩනැගිලා.


කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

මේ අසහ්‍ය ප්‍රකාශන  සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර  එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

එමෙන්ම  1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර  මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

Rate this item
(1 Vote)