April 26, 2024

ලංකාවේ මුස්ලිම් වර්ගවාදී ප්‍රහාර ගැන ඇමරිකාවෙන් ට්විටර් පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලිවලට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ඇමෙරිකා එක්සත් ජනපදය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පැවසූ බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් සඳහන් කරනවා.

එමෙන්ම ඕනෑම ආගමික ස්ථානයකට එල්ලවන ප්‍රහාර හෙලා දැකිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.

තානාපතිවරයා ඒ බව සඳහන් කරන්නේ ඉරිදා (මැයි 21) අලුයම කුරුණෑගල මාලිගාපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියට එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ ට්විටර් පණිවුඩයකට සිය ප්‍රතිචාරය දක්වමින්.

පල්ලියේ දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශාලාවට එම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

 

මේ සතිය ඇතුලත ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි තුනකට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වූ බව පෙන්වා දෙන ඇමෙරිකානු තානාපතිවරයා, මේ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කරනවා.

මුස්ලිම් පල්ලි සහ වෙළෙඳ ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල එල්ල කෙරුණ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර ගන්නේ නැත්නම් දැඩි ක්‍රියා මාර්ගයකට යන බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන සමස්ත මුස්ලිම් නියෝජිතයන් පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

එකී වර්ගවාදී ප්‍රහාර නතර කරවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීමට තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර අබ්දුල් හලීම් ඇමතිවරයාගේ කාර්යාලයේ පැවැත්වුන සාකච්ඡාවක දී පාර්ලිමේන්තුවේ සිටින සියලු මුස්ලිම් මැති ඇමතිවරුන් තීන්දු කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

 

ආණ්ඩුව ඉහත කී ප්‍රහාර නතර කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් මුස්ලිම් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට එම සාකච්ඡාවේ දී ඒකමතිකව තීන්දු කර ඇති බවටත් සඳහන් වෙනවා.

පසුගියදා ගාල්ලේ ඉස්ලාම් සාන්තුවරයෙකුගේ සොහොන් කොත ද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබුණ අතර, ඇල්පිටිය, පානදුර, අකුරැස්ස ඇතුළු ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද පසුගිය සති කිහිපය තුළ ප්‍රහාර එල්ල වී තිබුණා.

එහෙත් එම කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැහැ.

Rate this item
(3 votes)