May 08, 2024

ෆේස්බුක් එකට ෆොටෝ දාන්නේ බලාගෙනයි....

අන්තර්ජාලය මගින් සිදුවන අපරාධ මේ යුගයේ විශාල ලෙස වැඩිවෙමින් පවතී. එමෙන්ම මේ වනවිට අන්තර්ජාලය භාවිතා කරන පිරිසද ශීග්‍රයෙන් වැඩිවේ.

ඒ සමගම ෆේස්බුක් වැනි සමාජ ජාලයන්ට තම ඡායාරූප එක් කිරීමට ද තරුණ තරුණියන් වැඩි නැඹුරුවක් දක්වයි. ඒ අතරින් කාන්තාවන්ට ඇති බලපෑම ඉහලය.

අන්තර්ජාලයෙන් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් එයින් කැමැති කාන්තාවක් සමඟ හැසිරීමට හෝ රැයක් ගත කිරීමට හැකි බව පවසමින් 'ඊසි කෑෂ් ' මඟින් මුදල් ගරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වී ඇති බව ජනතාව පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක නමක් දමා ෆේස්බුක් ගිණුමක් සකස් කර මේ ජාවාරම හොර රහසේ සිදුකරගෙන යයි.

කාන්තාවන් විශාල පිරිසකගේ විවිධ ඡායාරූප එම ෆේස්බුක් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබෙන අතර එම කාන්තාවන්ගේ නම සහ සිටින ස්ථානය, වයස මෙන්ම එක් එක් කාන්තාවට වැය වන වියදමද එහි සඳහන්ව ඇත. 

තවද ගැනුම්කරුවාට තමන් කැමැති කාන්තාව සමඟ හෝ කිහිපදෙනකු සමඟ හැසිරීමට හැකි බවද මෙහි සඳහන් කර තිබේ.

ගැණුම්කරු විසින් අදාළ ඡායාරූපයේ කාන්තාව තෝරා ගත් පසු එහි ඇති ජංගම දුරකතන අංකයට කතා කළ පසු එම දුරකතන ඇමතුමේ සිටින පුද්ගලයා පවසන්නේ ප්‍රථමයෙන් තමා ලබාදෙන අංකයට ඊසි කෑෂ් මඟින් මුදල් දමන ලෙසයි. 

මුදල් දැමූ පසු සිටින ස්ථානය මෙන්ම ගැනුම්කරුට එම කාන්තාව සිටින හෝටලය දැනුම් දෙන බවද කියයි.

එසේ මුදල් දමන්නේ නැතිව කාන්තාව සිටින ස්ථානය හෝ හෝටලය පැවැසිය නොහැකි බව පවසන අතර මුළු මුදල එකවර ඊසි කෑෂ් ලෙස දැමිය යුතුයි. 

මෙහි ඇති සියලුම කාන්තාවන් සම්බන්ධ කර ගැනීමට එකම ජංගම දුරකතන අංකයක් පමණක් එහි පවතින අතර ගැනුම්කරුවාට ඊසි කෑෂ්  දැමීමට ඔවුන් විසින් වෙනමම අංකයක් ලබාදෙයි.

මේ ඡායාරූපවලට ලොල් වී මුදල් දැමූ බොහෝ දෙනකුට සිදුව ඇත්තේ මුදල් දැමූ පසු අදාළ අංකය හා සම්බන්ධ වීමට නොහැකිවීම සහ දින කිහිපයකින් එම අංකය ක්‍රියාවිරහිත කර කොහෙන්ද කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකිව මුදල් විනාශ කර ගැනීමක් පමණයි.

රහසිගතව මෙවැනි ජාවාරම් පවත්වාගෙන යන ඔවුන් කරන්නේ මුදල් ලබා ගැනීමෙන් පසුව වෙනත් දුරකතන අංකයක් සඳහන් කර දින කිහිපයකින් පසුව ජාවාරම නැවත පවත්වාගෙන යෑම පමණයි.

මෙවැනි ජාවාරම්වලින් මුදල් වියදම් කරගත් තරුණයන්ද කෑගල්ල සහ වෙනත් ප්‍රදේශවල බොහෝ සෙයින් සිටින බවද මේ සම්බන්ධයෙන් දැනුවත් තරුණ තරුණියෝ සහ සමහර වැඩිහිටියෝ පවසනවා.

මේ සම්බන්ධයෙන් අරණායක පොලිස් ස්ථානාධිපති පැවැසුවේ මෙවැනි ජාවාරම් අනන්තවත් සිදු වෙන අතර බොහෝ ජංගම සේවා සහ මහජනතාව දැනුවත් කිරීමට හැකි සෑම අවස්ථාවකම මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් මේවා ගැන දැනුමක් නොමැති පිරිස් මෙවැනි ජාවාරම්වලට නිකරුණේ හසුවී මුදල් වියදම් කර ගන්නා බවයි. 

ඒ නිසා මෙවැනි දෙයක් වනබව ජනතාවට ඒත්තු ගැන්විය යුතුමය.

Rate this item
(2 votes)