May 03, 2024

සිම්බාබ්වේ ජනාධිපති රැස්වීම්වල නිදි

සිම්බාබ්වේ ජනාධිපති ගැන ඒ රටේ මේ දවස්වල අපූරු කතාබහක් යනවා. ඒ රටේ පමණක් නොවේ, ඒ සම්බන්ධව ලෝකයේ බොහෝ රටවල ද නොයෙක් කතා කියනවා.

ඒ කතාබහට හේතුව තමයි සිම්බාබ්වේ ජනාධිපති රැස්වීම්වල නිදාගන්නේ මක් නිසාද යන්නයි.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ, රැස්වීම්වලදී දිගු වේලාවක් දෑස වසාගෙන සිටින්නේ දෙනෙතට විවේකය ලබාදීමට විනා නින්දට වැටීම නිසා නොවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා පවසනවා.

"ජනාධිපතිවරයාට දීප්තිමත් ආලෝකය විඳින්න බැහැ" යනුවෙන් ජනාධිපති ප්‍රකාශක ජෝර්ජ් චාරම්බා පැවසූ බව සිම්බාබ්වේ රාජ්‍ය පුවත්පතක් වන 'හෙරල්ඩ්' පුවත්පත වාර්තා කරනවා. 

අනූතුන් වියැති ජනාධිපති මුගාබේ රැස්වීම් කිහිපයක ම නිදා වැටෙන ආකාරයක් මාධ්‍යවලින් පෙන්වා තිබෙනවා.

මේවනවිට සිංගප්පුරුවේ රෝහලකින් තම දෑසට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණා.

රොබට් මුගාබේ ලෝකයේ වයෝවෘද්ධම රාජ්‍ය නායකයාය.

1980 සිට ජනාධිපති පදවිය දරන ඔහු පවසන්නේ රටේ ජනතාව තමන් පලවා හරින තුරු පදවියෙන් ඉවත්ව නොයන බවයි.

තම ස්වාමි පුරුෂයා මියගියහොත් ඔහුගේ මෘතදේහයට පවා මීළඟ ජනාධිපතිවරණයෙන් ජයගත හැකි බව ජනාධිපති මුගාබේගේ බිරිඳ වරක් ප්‍රකාශ කර තිබුණා.

70ව දශකයේදී සුළුතර සුදු ජාතික පාලනයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයකු වන ඔහු නිදහස් සිම්බාබ්වේ රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා ද වෙනවා.

ඔහු මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට නියමිතයි.

එමෙන්ම විචාරකයින් පවසන්නේ ඔහු එම ජනාධිපතිවරණයෙන් ද ජයගනු නියත බවයි.

මෙතරම් කාලයක් රටේ ජනාධිපති ලෙස අඛණ්ඩව තම රට පාලනය කිරීමට  රටේ  ජනතාව ඉඩ දී ඇත්තේ ඔහුගේ යහපත් පාලනය නිසාවෙන් විය යුතු බව බොහෝ විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 12 May 2017 18:55