May 03, 2024

මෝදි වෙනුවෙන් නෝර්වුඩ් ප්‍රදේශයේ බඹරවද ඉවත් කරලා

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (මැයි 11) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06.00 ට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අගමැති හා ලංකාවේ සම්බන්ධය කෙටිකාලීන වූවක් නම් නෙවෙයි.

ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණීමට නියමිත ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ පැය 24 කට වඩා අඩු කාලයක් වීම විශේෂත්වයක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඉන්දීය අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් ගංගාරාම විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්වීමට නියමිතය.

හෙට (මැයි 12) උදෑසන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වීමට නියමිත ඉන්දීය අගමැතිවරයා ඉන් අනතුරව මධ්‍යම වතුකරයේ නෝර්වුඩ් ප්‍රදේශයේ සංචාරයකට එක් වීමට බලාපොරොත්තු වෙන බව ආරංචි මාර්ගවලින් හෙළිවෙනවා.

එහිදී අගමැති මෝදි ඉන්දීය සම්භවයකින් පැවත එන වතුකරයේ දෙමළ ජනතාව සහභාගිවන මහජන රැස්වීමක් ඇමතීමට ත් නියමිතයි.

වතුකරයේ වෙනස් දේශපාලන අදහස් දරන නායකයන් එක් කර ගනිමින් මසකට ආසන්න කාලයක සිට ඉන්දීය තානාපති නිලධාරීන් එහි සංවිධාන කටයුතුවල යෙදී සිටිනවා.

ඉන්දීය අගමැතිවරයෙකු වතුකරයේ සංචාරයකට එක්වන ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

ඉන්දීය අගමැතිවරයාගේ ආරක්ෂාව පිණිස ශ්‍රී ලංකා පොලිසියේ 6,000 ක බළඇණියක් යොදවා තිබෙන අතර ඔහු ගමන් ගන්නා වේලාවන්හිදී මාර්ග හා අතුරු මාර්ග වසාදැමීමට පොලිසිය කටයුතු යොදා තියෙනවා.

හෙලිකොප්ටර් යානා ගොඩ බෑමේ දී බඹර වදවලට හානි සිදු විය හැකි බැවින් එම අනතුර සළකා නෝර්වුඩ් ප්‍රදේශයේ බඹර වද පවා ඉවත් කිරීමට හැටන් පොලිසිය කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඉන්දීය අගමැතිවරයාට ගමන් කිරීම සඳහා ඔහුගේ නිල ප්‍රයෝජනය සඳහා ඇති රථ දෙකක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන බව ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබෙනවා.

හැටන්,නෝර්වුඩ් සහ මහනුවර සංචාරය කිරීම සඳහා MI17 වර්ගයේ විශේෂ හෙලිකොප්ටර් යානා 3 ක් ද ශ්‍රී ලංකාවට ගෙනත්.

ශ්‍රී ලංකා සංචාරය තුළ ඉන්දීය අගමැතිවරයා භාවිත කරන්නේ එරටට අයත් හෙලිකොප්ටර් යානා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙකු ලංකාවේ සහ විදෙස් මාධ්‍ය වෙත තොරතුරු ලබාදී තියෙනවා.

අගමැතිවරයාගේ පැමිණීමට විරෝධය පළකරමින් කළු කොඩි ඔසවන ලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දීය අගමැතිවරයා තමන්ගේ ලංකා ගමන පිලිබඳ ට්විටර් පණිවිඩයක් මගින්  අදහස් දක්වමින් කියා සිටියේ " ලංකාවෙහි ජීවත්වන  අපූරු මිනිසුන් හමුවීමට තමා බොහොම කැමැත්තෙන් ඉන්නා" බවයි.

Image copyright
Rate this item
(4 votes)