April 28, 2024

ඔබේ බිඳුණු අස්ථිය පැයෙන් සුවකරන්න උරුලෑවෙක් හිටියම ඇති

 ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර ඉන්නවා අපූරු හැකියාවක් තියන වේදදුරෙක්... 

ඔබ හිතන්නේ ඔහු වයසින් වැඩිමල් කෙනෙක් කියලද? නැහැ. ඔහු තරුණයෙක්

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාව.

කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ත් තියනවා.

 ලංකාවේ දකුණු පළාතේ  උළු පට්ටලේ ගෙදර තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයේ ඉදලම පැවතගෙන එන වෙද පරම්පරාවක්.

ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරිලා කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙනවා.

මොහු ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා තියෙන්නේ. පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකම පටන් අරන් තියෙන්නේ පියාට හයියක් වෙන්න. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ත් ඔහු  සමග වෙදකම ආරම්භ කරනවා.

ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් කරනවා. ඒත් ඒ සියල්ල අභිබවමින් ඔහු වඩාත් දක්ෂ වෙන්නේ විශේෂඥ විෂයක් වුනු කැඩුම් බිඳුම් වෙදකමට

තමන්ගේ  පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක්, පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කරනවා . නමුත්  වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබෙන බව ඔහු පවසනවා.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බව.

උළු පට්ටලේ ගෙදර වෙද පරපුරට කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කමක් තියනවා . එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.

ඔහුට අනුව  පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවෙනවා. ඒ වගේම  උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ත් මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා පවසනවා. මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බව වෙද මහත්මයා ප්‍රකාශකළා.

වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුනත් අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තියන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බව. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්වෙලා එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබලා තියෙන්නේ  ඒ හිමියන් අපවත්වී ඇති  බව සිතමින් . ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කෙරිලා.

වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බව. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙක්. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළා. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබුවා. මාසයක් ගතවීමට පෙර ඇවිදීමට හැකියාව ලැබුණා..

තවත් බරපතළ රෝගියකු වූනේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙක්. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියා. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඩිලා තිබුණා. එහි ඇතුළත කුහරයක් පවා හැදිලා තිබුණා.

‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්, දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’

වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බව. ඉස්සර සෑම නිවසකම මිදුලේ නිරන්තරයෙන් වැඩෙන කලාඳුරු වැනි ශාක දැන් වඳවෙලා ගිහින්. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ත් ඔහු පැවසුවා. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල්  සොයා ගැනීමත් ඉතාමත්ම අසීරු වෙලා තියනවා. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවෙලා ගිහින්. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බව.

තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනක්. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ත් වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන්.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සියඑ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’

අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.

වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබුණා. පාදය කපා ඉවත් කිරීමට තීරණය කර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබලා ඇවිද යනවා.

වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැටඑ ඇතිකරගෙන එනවා කියලා. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසනවා.

කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නක්. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසනවා. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරන්න පුළුවන්.

උඑපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නම් නෙවෙයි. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙන්. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බව.

උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොස් තියනවා. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නෙවෙයි, යුතුකමක් ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙන්. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙන්. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි. ඒ වගේම තමන්ගේ ඒ උරුමය මුදලට නොවිකුණන බවයි.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 09 May 2017 11:45