May 05, 2024

කුණු කන්ද කඩා වැටෙන්න පැය 12කට කළින් නිකුත් වූ සංඥා ගැන ඇසින් දුටු සාක්ෂිය

පිහිටි ‍පොළොවේ ස්ථායිතාවය නොමැතිවීම නිසා කුණු කන්දේ උස වැඩිවීමෙන් එය කඩාවැටිය හැකි බවට තමා 2016 වසරේදී අනතුරු ඇඟවූ බවත්, එම තත්ත්වය සෑම ආයතනයකටම, ජනතාවට දැනුම් දුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පවසයි.

“අවුරුද්ද දවසේ (14) පාන්දර 2.00ට විතර නිවසට එළිය එන්න දාලා තිබුණු වීදුරුවක් ඉරිතැළී ගියා. පාන්දර පහට විතර ඒ වීදුරුව සම්පූර්ණයෙන්ම පිපිරී කෑලිවලට කැඩිලා ගියා. උදේ හත විතර වෙද්දී උඩ ගෙදර බිත්තිය අපේ නිවසට ආසන්න වෙනවා දැක්කා. දවල් ගෙදර සින්ක් එකේ ටැප් එක සින්ක් එකේ මායිමෙන් එළියට පැනලා තිබුණා. ඒක හදන්න යද්දී හවස 2.45 ට විතර එහා ගෙදර බිත්තියේ ගල් ගැලවිලා වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි බයවෙලා ගෙදරින් එළියට ආවා. මම, මුනුපුරාත් එක්ක දිව්වා. බිරිඳට සහ මිනිබිරියට දුවාගන්න බැරිවුණා. ඒ අය ගෙවල්වලට යටවුණා. මගේ බිරිඳගේ ඉණෙන් පහළ කොන්ක්‍රීට්වලින් යටවෙලා තිබුණේ. එයාව එළියට ගන්න බැකෝ යන්ත්‍රයක් ගේන්න පැය හතක් ගියා. මම ඒ පැය හතම බිරිඳ සමග හිටියේ. ඒ අතරෙත් එයා කතා කළා. එයාව බේරාගන්න හැදුවත් ඒක කරගන්න බැරිවුණා. ජාතික රෝහලට ගෙනාවට පස්සේ බිරිඳ නැතිවුණා. මගේ දුවයි, නෝනයි, බෑනයි, මිනිබිරියි හතර දෙනාම නැතිවුණා.” යැයි කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා පැවසීය.

“අපේ නිවසට ඉහළින් පිහිටි නිවස දැනට වසරක කාලයක පමණ සිට පහළ ප්‍රදේශයක පිහිටි අපේ නිවසට ළංවෙනවා කියලා අපට තේරුණා. වහලවල් දෙක හේත්තු නොවෙන්න අපි ‍පොඩි ඉස්තෝප්පුවක් හැදුවා.“ යනුවෙන් ද පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පිහිටි ‍පොළොවේ ස්ථායිතාවය නොමැතිවීම නිසා කුණු කන්දේ උස වැඩිවීමෙන් එය කඩාවැටිය හැකි බවට තමා 2016 වසරේදී අනතුරු ඇඟවූ බවත්, එම තත්ත්වය සෑම ආයතනයකටම, ජනතාවට දැනුම් දුන් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා සඳහන් කළේය.

කුණු කන්දේ කොටසක් කඩා වැටීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙම ආයතනය සාමූහිකව සිදුකළ බවත්, ඒ පිළිබඳව වාර්තාවක් අද (18) හෝ හෙට (19) ‍පොලිස්පතිවරයාට සහ අධිකරණයට භාරදෙන බවත් ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පැවසී ය.

මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව අවදානම් තත්ත්වයක් පවතින බව වසර ගණනාවකට පෙර සිය පර්යේෂණ මගින් මාධ්‍ය ආයතනවලට සහ වගකිවයුතු ආයතනවලට දැනුම් දුන් බවත්, ශක්තිමත් නොමැති මෙවන් භූමියක දිනපතා දිගින් දිගටම කුණු ගොඩ ගසද්දී භූමියේ ශක්තිමත්භාවය හීන වන බවත්, මෙම ස්ථානය ඉකුත් වසරේ අග භාගයේදීද කඩාවැටීමට ලක්ව ඇති බවත්, එය මහා පරිමාණයෙන් මෙවර සිදුවූ බවත් ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

‍පොලිස්පතිවරයා සහ අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කණ්ඩායමක් පැමිණ මෙම මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව පර්යේෂණ කටයුතු ආරම්භ කළහ. විශ්වවිද්‍යාලයයෙන් ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා ඇතුළු එකොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ සිටි අතර රජයේ රස පරීක්ෂකවරයා, ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නිලධාරීහුද කුණු කන්ද ආශ්‍රිතව පරීක්ෂණ කටයුතුවල නිරත වූහ.

තද බෑවුම් ප්‍රදේශවල තිබෙන කුණු කඳු මෙලෙස කඩා වැටීමේ හැකියාවක් පවතින බවත්, කුණු කඳු කඩාගෙන යාම් මහා පරිමාණයෙන් සිදුවන බව පර්යේෂණවලින් තහවුරුවී ඇති බවත් ආචාර්ය කරුණාරත්න මහතා කීවේය.

මෙවැනි ස්ථානවල කුණු ගොඩ නොගැසීම ඉතා වැදගත් බවත්, එය කරන්නේ නම් විද්‍යානුකූලව සිදුකළ යුතු බවත්, විදෙස් රටවල කුණු ගොඩ ගැසීම් විශේෂ කළමනාකරණ ක්‍රම යටතේ සිදුකෙරෙන බවත් ආචාර්ය කරුණාරත්න මහතා පැවසීය.

කුණු බැහැර කෙරෙන ස්ථානවල ස්වභාවිකවම ජීව වායුව නිෂ්පාදනය වන බවත් හෙතෙම පැවසුවේය.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඊයේ (17) දිනය වන විට 30 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්තානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

අතුරුදන්ව සිටින පුද්ගලයින් තිදෙනකු පිළිබඳ පැමිණිලි ‍පොලිසියට ලැබි ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කීවේය.

නිමාෂා ගිම්හානි (දහම්පුර), ඩී.එම්. නිහාල් ගුණරත්න (දහම්පුර), කීර්ති වර්ණපුර (පන්නිල්හේන), හේවාවිතාරණගේ ච්ෙතානි සමාධි, කහඳවල ආරච්චිගේ චන්ද්‍රා මානෙල්, ගාමිණී වික්‍රමසිංහ, අත්තනායක මුදියන්සේලාගේ කවීෂ ලක්ෂාන්, විශ්ව මධුෂාන් වික්‍රමසිංහ (දහම්පුර), විනීතා ජයසේකර, අශානි නිමන්ති ජයසුන්දර (මව සහ දියණිය), ෆාතිමා ෆසීනා (කුරුනියාවත්ත), ෆාතිමා හම්රා (දහම්පුර), තල්පාවිල කංකානම්ගේ අරවින්ද (දහම්පුර), යසංගා හිමිදිරී වරංගා, ෆාතිමා ෆතීර් වසීම් (දහම්පුර), ශෂීකුමාර් දිනුකාත්, එකම පවු‍ලේ මව, පියා සහ පුතුන් දෙදෙනා- වරාගොඩ පතිරණගේ නන්දසිරි (පියා), ගයනි ච්ෙතනා සේනානායක (මව), චරක පතිරණ, ඕෂධ ගිම්හාන පතිරණ, එකම පවු‍ලේ සොහොයුරන් වන කවිඳු ලක්ෂාන්, අවන්ත ගිම්හාන.

ඊයේ දිනයේද ත්‍රිවිධ හමුදාව, ආපදා කළමනාකරණ අංශ සහ ‍පොලිසිය මෙහෙයුම් කටයුතුවල නිරතවී සිටියේය. මෙහෙයුම් කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ 1060 දෙනකු යොදවා සිටින බවත්, ඊට අමතරව ‍පොලිසිය, ‍පොලිස් විශේෂ කාර්ය බළකායද මෙහෙයුම්වල නිරතව සිටින බවත්, මෙහෙයුම් කටයුතු අද (18) දිනයේද සිදු කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මේ වන විට ලැබි ඇති තොරතුරුවලට අනුව පුද්ගලයින් 11 දෙනකු පමණ අතුරුදන්ව සිටින බවත්, කොළඹ ජාතික රෝහ‍ලේ 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පැවසීය. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් කටයුතු ඊයේ සවස් වනවිටත් සිදු කරමින් පැවතුණි.

මෙහෙයුම් කටයුතු සිදුවන ප්‍රදේශයට කිසිදු අයකුට ඇතුළු නොවීමට ‍පොලිසිය සහ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයිද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.

කුණු කන්දේ කොටසක් කඩා වැටීම හේතුවෙන් පවුල් 228 ක පුද්ගලයින් 980 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවත්, ඊයේ පෙරවරුව වන විටදී නිවාස 79 ක් පූර්ණ වශයෙන්ද, නිවාස 17 ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීතොටමුල්ල ප්‍රදේශයෙන් ඊළඟට ඉවත්කරන කණ්ඩායම පිළිබඳ වාර්තාව අද (18) දිනයේ අවසන් කිරීමට නියමිත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාම් හා අවදානම් කළමනාකරණ අංශ ප්‍රධානි ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය.

ආපදාවට ලක්වූ ප්‍රදේශය ආශ්‍රිතව තක්සේරු කිරීමේ කටයුතු ඊයේ පෙරවරුවේ සිට ආරම්භ කර තිබුණි. තක්සේරු දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කොළොන්නාව ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය, ‍පොලිසිය සහ යුද හමුදාව එක්ව තක්සේරු කිරීම් කටයුතු සිදු කළේය. මෙම තක්සේරු කිරීම් කටයුතු සඳහා මෙම ආයතනවලින් පනස් දෙනකුගෙන් (50) යුත් කණ්ඩායමක් සමන්විත විය.

මෙම තක්සේරුවේදී විපතට පත්වූවන්ගේ සියලු තොරතුරු, නිවාසවලට සිදුවූ හානිය පිළිබඳව සම්පූර්ණ තක්සේරුවක් සිදුකරන බව කොළොන්නාව ප්‍රාදේශීය ‍ලේකම් සුදත් සිසිර කුමාර මහතා කීවේය. එම තක්සේරු කිරීම් කටයුතු අද දිනයේද සිදු කෙරෙන බවද හෙතෙම පැවසීය.

 

(රිවිර) 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 April 2017 17:18