May 07, 2024

ප්‍රසිද්ධ පාසලක නි. විදුහල්පති ශිෂ්‍යයාගේ කන කපලා

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යයකුගේ ප්‍රමාණයට වඩා තිබූ කොණ්‌ඩය පාසල තුළදී කැපීමට යැමේදී එම ශිෂ්‍යයාගේ කණ කැපී තුවාල වී තිබේ. පසුව පාසල තුළදීම තුවාලයට ප්‍රතිකාර කර විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක්‌ විසින් පෙරේදා (03) දහවල් ත්‍රිරෝද රථයකින් ශිෂ්‍යයා නිවසටම ගෙනැවිත් දමා ඇතැයි වාර්තා වේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකි. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හා ගුරුවරු දෙදෙනකු පෙරේදා (03) දහවල් 1.30 ට පමණ පන්තියට පැමිණ ශිෂ්‍යයා අල්ලා බලහත්කාරයෙන් කාමරයකට රැගෙන ගොස්‌ කතුරකින් කොණ්‌ඩය කැපීමේදී ශිෂ්‍යයාගේ කොණ්‌ඩය හා කන ද කැපී ඇති බව ද තමා හැඳ සිටි පාසල් කමිසය හා කලිසමට ලේ වැටී ඒවා තෙත් වූ බවත් තුවාල ලැබූ ශිෂ්‍යයා ප්‍රකාශ කරයි. 

දරුවාගේ මව ද වසර කිහිපයක්‌ තිස්‌සේ අංශභාග රෝගය සෑදී එකතැන්ව සිටිනා තැනැත්තියකි. 

සිද්ධිය පිළිබඳ රිදීමාලියද්ද 10 කණුව ගස්‌ගොල්ල යන ලිපිනයේ පදිංචි ශිෂ්‍යයාගේ පියා රිදීමාලියද්ද පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරුන් හා ශිෂ්‍යයාගේ දෙමාපියන් පොලිසිය වෙත කැඳවා පැමිණිල්ල 3 දා සවස විභාග කර ඇත. 

මෙවැනි කරදර මින් ඉදිරියට පාසලේ අනෙක්‌ දරුවන්ට සිදු නොකරන ලෙසත් සිද්ධිය දීර්ඝව ඉදිරියට ගෙන යායුතු නොවන බවත් පියා පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇත. එහිදී දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් සිද්ධිය සමථයකට පත්ව ඇත.

 

ඡායාරූප - දිවයින

Rate this item
(0 votes)