May 07, 2024

STF පිහිටුවා වෙඩි තැබීමේ ශුරයකු වූ හිටපු ජනපති පුත්‍රයා

පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට බොරැල්ලේදී සිදු කිරීමට නියමිතය.

රවී ජයවර්ධන මහතා මිය යන විට ඔහුගේ වයස 80යි. සුළු අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු ඊයේ (03) මිය ගියේ කොල්ලුපිටිය, කැපිටල් රෙසිඩන්සීස්  නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

රවී ජයවර්ධන හෙවත් රවින්ද්‍ර විමල් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ එක ම පුත්‍රයා වෙයි.

ඔහු ගැන සඳහන් කරන විට අමතක කළ නොහැකි කාරණය වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය නැතහොත් එස් ටී එෆ් ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කිරීම හේතුවෙනි.

1957 දී  ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරම්හක ඒකකය වන 2 වන බළඇණිය  ශ්‍රී ලංකා පාබල හමුදාවේ අධිකාරීලත් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති ඔහු කපිතාන්  නිලය දක්වා සේවය කිරීමෙන් පසු ඉන් ඉවත් වී තිබේ. 

වෙඩි තැබීමේ ශුරයකු වන රවී 1964දී වෙඩික්කරුවකු ලෙස ජපානයේ පැවැති ටෝකියෝ ඔලිම්පියාඩ් උළෙල නියෝජනය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් නියමුවකු ලෙසද ඔහු කටයුතු කර ඇති අතර ජේ.ආර් ජයවර්ධන පාලන සමයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙසද කටයුතු කර තිබේ. ඔහු ඒ අවධියේදී විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) පමණක් නොව ජාතික ආරක්‍ෂක බියුරෝව (එන්.අයි.බී.) ස්ථාපනය කිරීමට ද මූලිකත්වය ගෙන ඇත.

ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පති රාජා වීරකෝන් පවසා ඇති පරිදි සිය පියා වන ජනාධිපති ජයවර්ධන මහතාගේ ආරක්ෂාව ගැන එකල නිතර සොයා බැලූ රවී ජයවර්ධන මහතා ආරක්ෂාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකු ලෙස අනෙකුත් ආරක්ෂකයන්ට අදාළ උපදෙස් දී තිබේ.

තත්පරයක් ගතවන විට පිස්තෝලය ඉනෙන් ගෙන තම ඉලක්කයට වෙඩි 2ක් නිවැරදිව තැබීමේ හැකියාව සතු වූ ඔස්ට්‍රේලියාවේ ඉලක්කයට වෙඩි තැබීමේ ශුරයා සම්මානය ද දිනා ගත් රවී ජයවර්ධන මහතා, පසු කලෙක තායිලන්තයේ අප්‍රකට වනගත ආරාමයක දී පැවිදි දිවියට ඇතුළත්ව කලක් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

අභාවප්‍රාප්ත වූ රවී ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස 3.00 ට බොරැල්ලේදී සිදු කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 April 2017 15:30