May 02, 2024

'S' එකක් නිසා ජීවිතය අහිමි කරගත් චලනිගේ සංවේදී කථාව (VIDEO)

මේ සිදුවීම ගැන විස්තර කරන්න කළින් දෙයක් කියන්න ඕනේ. මේ පාර විතරක් නෙමේ හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න සිසු සිසුවියන්ට අපි දෙයක් කියන්න කැමතියි. විභාගය පාස් වුණත් ෆේල් වුණත් ජීවිතය නැති කරගන්න තත්වයට ඔබ කවදාවත් වැටෙන්න එපා. ඔබ ගැන නැතත් අම්මා තාත්තා ගැනවත් හිතන්න. විභාගයක් නැවත කරන්න පුළුවන් නමුත් ජිවිතේ නැති වුණොත් නැවත ලබාගන්න බැහැ. ඒ නිසා ජිවිතේට වටිනාකමක් දෙන්න.

2016 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මුළු රටටම දැනගන්න ලැබුණා. වෙනදා වගේම පාස් වෙච්ච අය සතුටු වෙද්දී ෆේල් වෙච්ච අය දුක් වුණා.

හැබැයි හෝමාගම කිරිවත්තුඩුව කිතුලවිල පාර ප්‍රදේශයේ ඉන්න චලනි ලක්ෂානි ගණිතය විෂයට S සාමාර්ථයක් ලැබුණ නිසා ජිවිතයම දාලා යන්න ගියා.

2015 අවුරුද්දේ පළමුවතාවට සාමාන්‍ය පෙළ කරපු චලනි විභාගය පාස් වෙලා කලා විෂය ධාරාව යටතේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටියා. හැබැයි ඇයගේ හීනය වෙලා තිබුණේ වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමයි.

මේ නිසා ඇය 2016 අවුරුද්දේ නැවත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. අහස උසට බලාපොරොත්තු තියාගෙන ඇය විභාගය හොඳින් අවසන් කරනවා.

නමුත් ඊයේ දවල් 12.30 ට පමණ සිය විභාග ප්‍රතිඵල දකින ඇය හවස 7.30ට පමණ නිවස පිටුපස තිබෙන ගසක එල්ලී ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගන්නවා. ඒ වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න ප්‍රමාණවත් සමර්ථයක් ගණිත විෂයට තිබුණේ නැති නිසා.

ඇය පවුලේ වැඩිමහල් දියණිය. හිතේ හයියෙන් නැවත විභාගය කළ චලනි හිතේ වේදනාවෙන් හැමෝම දාලා යන්න ගියා.

මේ පුවත බලන සිසු සිසුවියන් ජීවිතය ගැන මීට වඩා හොඳ සිතුවිල්ලෙන් බලන්න කියලා අපි පුංචි ඉල්ලීමක් කරනවා .

උපුටා ගැනීමකි

 

Rate this item
(3 votes)