May 02, 2024

පාතාල නායක මෝදර සුද්දා හිරේ ඉඳන් කියපු අමුතුම ජිවිත කතාව මෙන්න!

පාසැල් යන වයසේ සිටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් තමන්ගේ වටිනා ජීවිතය අකාලයේ නැතිකරගත් තරුණයෙකු පිළිබඳව වන ලිපියක් පසුගිය දිනෙක පුවත්පතක පළවී තිබුණු අතර එයින් කියැවුණේ ඔහු මත් කුඩු පානයට ඇබ්බැහි වීමෙන් ඔහුගේ ජීවිතය විනාශ වී ගොස් අවසානයේ සිරබත් කන්නට වූ සිද්ධියක් සම්බන්ධවයි.

එහි වූ  ජීවිත කතාවෙන් වර්තමානයේ ජීවත්වන බොහෝ තරුණ තරුණයින්ට පාඩමක් උගත හැකි නිසාම අප එය ඔබවෙත ගෙනඑන්නට සිතුවෙමු. මේ එම ලිපියයි….

‘‘ඇතුළට ආව පළවෙනි දවසේ මේකේ ඉන්නවට වඩා මැරෙන එක හොදයි කියලා හිතුණා. පස්සේ පස්සේ ඒ ජීවිතේට හුරු වුණාම අනික් අයට වගේම ඒක සාමාන්‍ය දෙයක් වුණා. කාලයක් තිබුණා නිදහස් වෙලා ගියත් මුකුත්ම නැත්තම් අඩු තරමේ වලියක් හරි දාගෙන ආපහු මාසයක් දෙකක් ඇවිල්ලා ඉදලා යනවා.ඒ තමයි මට තිබුණ ජීවිතේ‘‘

පෙනුමෙන් අවුරුදු විසි හයක,හතක වගේ තරුණයෙක් මගේ ඉදිරි පිට පනවා තිබුණු අසුනේ වාඩිවෙලා ගිරවෙක් වගේ කතාවක් කියන්න පටන්ගත්තා.

කතාව මොහොතකට නවත්වා නිහඩව මොහොතක් මා දෙස බලා සිටි ඔහු උපහාසාත්මක මගෙන් ඇසුවේ ප්‍රශ්නයක්.

මං කොහොමද ඇතුලට ආවේ කියලද මිස් කල්පනා කළේ ? ඒක ලොකු කතාවක්…….ඊළග මොහොතේ ඔහු දිගු සසුමක් හෙළුවා.

අපරාධකරුවෙකු යැයි සමාජයේ හංවඩු ගසන පුද්ගලයින්ට වඩා ඔහුගේ පෙනුම වෙනස් වුණා. මෙවැනි පුද්ගලයකු අපරාධකරුවෙකු වුයේ කෙසේද ? ඔහු දුටු මොහොතේ මගේ සිතට නැගුණ පළමු පැනයයි.ඇත්තටම සදුන් කොහොමද ඇතුලට අවේ?

ඉස්සරවෙලාම එන්න වු‍ණේ කුඩු සිද්ධියකට.අවුරුදු දාහතයි. පුනරැත්තාපනයට දැම්මා. ටික දවසක් ගිහින් එතැනින් පැන්නා.ආපහු පුරුදු රස්සාවට සෙට් වුණා.පොලීසියට අහු නොවී අවුරුදු දෙකක් විතර කොහොම හරි ගේම් එක ගැහුවා.

පස්සේ ඉතින් මහඋළු ගෙදරට නිතරම වගේ එන්න වුණා.දැන් අවුරුදු විසි නවයයි.මේ පාර නම් ටිකක් කාලේ වැඩි මිනිමැරුම් සිද්දියකට එන්න වුණේ. දැන් නම් ඇතුලෙත් මට හොද තැනක් තියෙනවා. ‘මෝදර සුද්දා‘ කිව්වොත් ඊට ඉහලින් කවුරුත් වැඩ කරන්නේ නෑ . ගාණකට නොගත් ඔහු එක දිගට කියාගෙන කියාගෙන ගියා.

ඉපදුණේ නම් නුගේගොඩ . පුංචි කාලේ ඉදලා ජීවිතේ අඩුපාඩුවක් කියලා දෙයක් තිබුණේ නැ. අම්මා ගුරුවරියක් ,තාත්තා කළේ බිස්නස් අක්කා කෙනෙක් හිටියා .ගෙදර අයත් මං කියන හැම දෙයක්ම කළා. මට ඕනි හැමදේම කරන්න නිදහස දීලා තිබුණා.

අම්මා තාත්තා උවමනාවට වඩා මං ගැන හොයලා බැලුවා.ඒත් පන්ති යනවා ඉස්කෝලේ යනවා කියලා ඒ අයට බොරු කියලා යලුවෝ එක්ක පාටි වලට ක්ලබ් වලට වගේම දවස් දෙක තුන ට්‍රිප් ගියා.මට හිටිය යාලුවෝ හොද අය නෙවෙයි කියලා අපේ ගෙදරින් දැනගෙන හිටියා.ගෙදරට ඇවිල්ලා කේලම් කියනවා කියලා මං ඒ දවස්වල අක්කා එක්ක හොදටම රංඩු වෙලා තියෙනවා.

දවසක් ඉස්කෝලේ ඉදලා එද්දි මගේ සෙට් එකේ යාළුවෙක් නුගේගොඩ බෝගහයට හිටියා තවත් අයියා කෙනෙක් එක්ක. මෙයාද කෙනා මෙයා හොදයි වැඩේට කිව්වා එයා යද්දි වෙලාවක යාළුවත් එක්ක මගේ තැනට ඇවිල්ල යන්න එනන්කෝ කිව්වා.

එතකොට මට අවුරුදු දාහතක් වගේ ඇති.ඊට දවස් දෙකකට වගේ පස්සේ මගේ යාලුවා බොරැල්ල පැත්තේ වත්තකට මාව එක්ක ගියා.එතන හිටියේ එදා නුගේගොඩදී හම්බවුණ අයියා. වත්තේ අය එයාට කිව්වේ රංජි කියලා.එයාගේ රස්සාව වෙලා තිබුණේ කුඩු බිස්නස් ,කුලියට මිනි මරන එක,ලොකු ලොකු මිනිස්සුට ගැනුන්ව සපයන එක වගේ තව ගොඩක් බිස්නස් එහේ තිබුණා.

මුලදි පුරුදු නැති වුණාට පස්සේ ඒවා මටත් ආගන්තුක වුණේ නෑ.

මම ඉස්කෝලේ යන කෙනෙක් නිසා උන්ට ‍ඔනි උන්ගේ කුඩු බිස්නස් එක ඉස්කෝලේ ඇතුලට අරන් යන්න.මුලදි බයට අකමැති වුණ.ඒත් දවසක් දෙකක් ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ වැඩේට සෙට් වුණ මං ඒකේ කිසි අවුලක් නැති හින්දා ඉස්කෝලේ වෙලාවෙත් කළා.අතට ගානකුත් ලැබුණා.

ඕලෙවල් වලින් පස්සේ ඉස්කෝලේ ගමන නැවතුණා.

අවුරුදු දාසය දාහත වෙද්දි වගේ මමත් කුඩුවලට පුරුදු වුණා.ගෙදර කවුරුත් දැනගෙන හිටියේ නෑ.කුඩු නැති බැරි වෙද්දී අම්මගෙන් සල්ලි හොරකම් කලා.

ඉගෙනීමේ කිසි දෙයක් කරන්නේ නැතිව සාමාන්‍ය පෙළත් මං ෆේල් වුණ දවසේ අම්මා මාව බදාගෙන ඇඩුවා අද වගේ මතකයි.ඒත් එදා මං අම්මව සතයකටවත් ගණන් ගත්තේ නෑ.

පළවෙනි වතාවේ මාව පොලීසියට අහුවුණ වෙලාවේ අම්මා හොදටම ඇඩුවා තාත්තා වෙච්චි ලැජ්ජාවටත් එක්ක මට පොලීසිය ඇතුලෙදිම ගැහුවා.ආයේ මාව බලන්නවත් ආවේ නෑ. පුනරුත්තාපන කදවුරෙන් පැන්න මම ආයේ ගෙදර ගියේ නෑ.රංජි අයියාගේ තැන නැවතුනා.ඊට පස්සේ තමයි මගේ ජීවිතේ සම්පුර්ණයෙන් වෙනස් වුණේ.

තමන් කළ කී සෑම දෙයක්ම පිළිබදවම පසු තැවීමක් ඇති බව පසක් කරවීමට මෙන් ඔහු සිය අතීතය මතක් කරමින් දිගු සසුමක් හෙලුවා.

රංජි අයියාගේ බිස්නස්වලට උදව් කරගෙන හොද ගෝලයෙක් වුණා.පස්සේ පස්සේ රංජි අයියා කුඩු බිස්නස් එක තනියම මට බාරදුන්නා. මගේ පොට් තිබුණේ මෝදර . අහුවුනාම කට්ටය දාලා ඇප දීලා මාව එළියට ගත්තා.මං කාටවත් බය වුණ කොනක් නෙවයි.

අපේ බිස්නස්වලටත් හතුරෝ හිටියා උන්ගේ බිස්නස් වැටෙද්දි අපේ කොල්ලොන්ට ගහනවා. පොලීසියට ඔත්තු දෙනවා.එහෙම අහුවෙලත් මං ඇතුලට ඇවිල්ලා තියෙනවා.

මට හිටිය ලොකුම තරහාකාරයා තමයි වැලිකඩ පැත්තේ මේ බිස්නස් එකම කරපු සමන් …හැබැයි ඌ මට බයයි.

ඇතුලට ආව පළවෙනි දවස්වල මට කලින් ඇතුලට ආව අය සද්ධ දැම්මා.පස්සේ මාත් එකක් යාලු වුණා. උන් මාව ඇතුලෙත් ලොක්කා කලා. සමහරු ඇතුලේ ඉදන් එළියට ආවම මගේ ගැන්සියට සෙට් වෙලා බිස්නස් කළා.

ගෙයක් දොරක් අම්මෙක් අප්පෙක් නැති ගාණට මං ඒ බිස්නස් කළා.

ගෙදර අය බලන්න ඕනි හිතුනෙත් රෑට හොරෙන් වත්තට පැනලා කොහොම හරි බලනවා.පස්සේ පස්සේ ඒකත් නැවැත්තුවා.එහෙම කළේ මට වෙනස් වෙන්න ඔනි වුණේ නැති හින්දා.

ඇයි එහෙම හිතුණේ.? මේ කරන දේවල් වැරදියිනේ? අඩු තරමින් සදුන්ට කවදාවත් කෙල්ලෙක්වත් ඉදලා නැද්ද?

ඔව් වැරදියි මං දන්නවා.ඒත් ඒ දවස්වල ඒ ජීවිතේට මං ගොඩක් කැමැති වුණා. නිදහස්නේ. ලොකු බලයක් තිබුණා.බලය නැතිවෙලා නිකමෙක් වෙන්න කවුරුත් ආස නෑනේ මිස්..

කෙල්ලෙක් හිටියා …ශෂිකා එයා අපේ ගම්පැත්තේ .මං මේ වගේ වැඩ වලට සම්බන්ධයි කියලා දැනගත්තම එයා සම්බන්දේ නැවැත්තුවා.හැබැයි එයා මාව මේවගෙන් ගලවන්න ගොඩක් උත්සාහා කළා.ඒත් මේවගෙන් තොර ජීවිතයක් තිබු‍‍ණේ නැති මං අමාරුවෙන් හරි හිත හදන් ශෂිකාගෙන් ඈත් වුණා. ආදරේ නිසා එයාගේ අනාගතය නැති කරන්න මං කැමති වුණේ නෑ. දැන් නම් එයා ගැන මුකුත් මං දන්නේ නැහැ.

ඊට පස්සේ හිත ගියපු වත්තේ කෙල්ලෙක් හිටියා .ඒත් මට උවමනාවත් වුණේ නෑ යාලුවෙලා කසාදයක් බැදගෙන දරුවෝ හදන් ඉන්න .හිතුනත් මේ රස්සාව මට එහෙම වෙන්න දුන්නේ නෑ.

අතීතය සිදුවීම සමග දැවෙමින් ඔහු වර්තමානයේ මහඋලු ගෙදර කූරූ ගනිමින් ලතැවෙන අයුරු ඔහුගේ වචන තුල ගැබ්ව තිබේ.

මගේ ජීවිත කතාව මෙහෙම කියලා ඉවර කරන්න බැහැ මිස් …………. ඔහු යළිත් හඩ අවදි කළේය….කොහොම හරි පොලීසියෙන් කට්ටි පැන පැන මං බිස්නස් කළා. පස්සේ කොල්ලුපිටිය තිබුණු රංජි අයියගේ ක්ලබ් එකත් මට බාර දුන්නා. ගම්වලින් ජොබ් හොයන් කොළඹ එන කෙල්ලන්ව,ගාමන්ටි යන කෙල්ලන්ව කොහොම හරි අපේ කෙල්ලෝ දාලා ක්ලබ් එකේ නටන්න සෙට් කර ගත්තා. උන්ට හොද ගාණක් ගෙව්වා. ඒ අතරේ වෙන වෙන බිස්නස් ගියා. අතමිට හොද හින්දා බෑ නොකියා උන් ඒවත් කළා.

දවසක් මම ක්ලබ් එකේ නොහිටිය දවසක වැලිකඩ සමන් ඇවිල්ලා අපේ කොල්ලොන්ට ගහලා.මගේ කොල්ලෙක් එදා මැරුණා. ඌ මට ගොඩක් හිතවත් එදා ලොකු වේදනාවක් දැනුණා මට.

ඒ දවස්වල මම කිසි දෙයක් අහන කෙනෙක් නෙවෙයි. ගොඩක් කෙන්ති යනවා. එකෙක් මරන්න හිතුනොත් ඒක කරනවා. මගේ හිතේ තිබුණු ආවේගට එදා රංජි අයියටත් වැඩේ නොකියා මං සමන්ගේ තැනට ගියා.

අපි අතරේ ලොකු රංඩුවක් ගියා.සමන් පිහියක් ඇදලා අරගෙන මට අනින්න හැදුව වෙලාවේ දෙපාරක් නොහිතපු මම ඌගේ ඔලු කට්ට කුඩු වෙන්න වෙඩි තිබ්බා.සමන්ව මරන්න හිතන් ආව ගමනක් නෙවෙයි වුණාට එදා එහෙම වුණා.

මනුස්සයෙක් මරපු පළවෙනි වතාව.සිද්දියෙන් පස්සේ පොලීසියට කට්ටි පැන පැන මාස දෙක තුනක් හිටියා. අන්තිමේට කවුරුහරි දුන්න ඔත්තුවකින් මාව පොලීසියට කොටු වුණා. අවුරුදු දෙකක් වෙනවා දැන් ඇවිල්ලා .ඇප දෙන්නේත් නෑ.තව අවුරුදු හතක් ඉන්න තියෙනවා. ඇතුල පුරුදුයි .ඕනි දෙයක්.ඒත් දැන් හිතෙනවා මේ දේවල් කලේ අපරාදේ කියලා.

එලියට ගියාම ආපහු පුරුදු රස්සාව කරන්නද හිතන් ඉන්නේ?ආපහු මේවට සම්බන්ධ වෙන්නේ නෑ.අනිත්ම කාලේ පොඩි රස්සාවක් හරි කරලා හොදට ඉන්න ඔනි. මට මගේ ගෙදර අයව දකින්න ආසයි. ඒත් ඒ අය මාව පිළිගන්න එකක් නැහැ. එයාලා දන්නේ නැතිව ඇති මං ඉන්න තැනක්වත්. ඇතුලේ හිටියට මං ඒ අය ගැන තොරතුරු හොයනවා. යැයි කියමින් ඔහු යමක් සගවා කියන්නට උත්සහා කළේය.

පුංචි කාලේ ඉදලම අම්මට තාත්තට මං කොච්චර දුකක් දුන්නද කියලා මතක් වෙද්දි දැන් ජීවිතේ ගැන ලොකු කලකිරීමක් දැනෙනවා.

සදුන් සිය ජීවිතයේ අහිමි වු දෑ පිළබද සිතමින් සමාජයට මෙන්ම තමන්ටද වෛර කරන්නකු බවට පත්ව ඇතැයිද ඔහු සැගවීමට උත්සාහ කළ ඇතැමි කරුණු තුල ඇතැයි ඔහුගේ කතාව අසන්නෙකුට සිතෙනු නොඅනුමානයි. කෙසේ වුවද සදුන්ගේ කතාව මා මෙතෙකින් ලියා අවසන් කළද තවත් වසර හතකින් පසු ඔහුගේ ජීවිතය යළි නැවුම්වනු ඇතැයි බලාපොරොත්තුව තැබිය හැකියි.

 
Rate this item
(0 votes)