April 27, 2024

සිරකුටිය විමල්ගේ කලා හැඟුම් උද්දීපනය කළ හැටි

අප සැරසෙන්නේ නඩු අසන්නට නොවේ. මේ ලියන්නට තනන්නේ සිරකුටියේ හිඳිමින් පොත් ලියන වීරවංශ ගැනය. චිත්‍ර අඳින වීරවංශ ගැනය. කවි ලියන වීරවංශ ගැනය. 

ජාතික නිදහස් පෙරමුණේ නායකයාගේ හිරගෙදර ජීවිතයට මේ වෙද්දී දින 60කට ආසන්නය.

ඒ දින 60ට ආසන්න කාලය තුළ වීරවංශ එක් පොතක් ලියා අවසන්ය. එහි අත්පිටපත මේ වෙද්දී මුද්‍රණය සඳහා බන්ධනාගාරයෙන් පිටතට යැවීමට අවශ්‍ය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ලැබේ. “රටට ඕනේ වම” ඒ වීරවංශ ලියූ පළමු පොතය. එය මුද්‍රණද්වාරයෙන් වීරවංශ අනුගාමිකයන් වෙතට එන්නට අනුමැතිය හිමිවේද? ඊට ගතවන කාලය කොපමණද යන්න පමණක් අවිනිශ්චිතයකි.

දෙවැනි පොත හිරගෙදර “නිදහස” තුළ මේ වෙද්දී වීරවංශ ලියමින් පවතී. ලියා අවසන් නොකළත් මේ වෙද්දී පිටු 200කට අකුරු එක්කර ඇති ඊට පාදකව ඇත්තේ සිරකුටියේදී ඔහු විඳි අත්දැකීම් සහ සිරගත දිවියේ ජීවන අත්දැකීම් සමුදායයි.

රතු දේශපාලනය තුළ ලෙයෙහි රක්ත වර්ණයට පෙම් බඳිමින් භීෂණයේ සැඩ සුළඟ සමඟ පොර බැදූ මනුෂ්‍ය ආත්මයන් පරයා නැඟී සිටි වීරවංශ එදා ඉල්ලු තුවක්කු ගල්කටස් වෙනුවට මෙදා ඉල්ලා සිටියේ පොත් ලියන්නට කොළ හා පෑන්ය. චිත්‍ර අඳින්නට කැන්වස් හා දියසායම්ය. හිරගෙදර ජීවිතය ඔහු කැන්වසයටත් දිය සායම් පෙට්ටියේ වර්ණ අතරටත් මිශ්‍ර කරමින් සිටින්නේය. නුදුරේදී වීරවංශ කැන්වසය මත මවනා අත්දැකීම්හි රේඛා සමුදාය චිත්‍ර ප්‍රදර්ශනයක් ලෙස ඔබේ ඇස ගැසෙනු ඇත.

බටහිර බලය හා ලංකාවේ ඉරණම, නැත්ත වෙනුවට ඇත්ත, ගරු කතානායකතුමනි, යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩවන හැටි, වන්නිය ජිනීවා හා නිව්යෝර්ක් ඒ “නිදහස්” වීරවංශ ලියූ පොත්ය. රටට ඕනේ වම සහ තවමත් නමක් නැති පොත “සිරගත” වීරවංශ ලියු සහ ලියමින් පවතින පොත්ය.

හයේ කණිසමට වැහෙනා

සිරකුටියේ තනිවුණු හිත

බේස්ලයින් සිට හමනා

සුළඟ යදිනවා

කළුවර තුරුලුව සැතපෙන 

අහස පෙනෙනවා

පින්බිම වෙනුවෙන් වැළපෙන

මල් ලියකම් සපිරි හදක

 

රිද්මය නවතාලන්නට 

අඟුළු දැමූ දොරටුවකට

හැකිවන්නේ කෙලෙසද

බේස්ලයින් සිට හමනා 

සුළඟ නුඹට කියාදෙන්න

 

අළු දුහුවිලි මතින් නැගුණු

ඉතිහාසයෙ සාක්ෂියක

බලමහිමය කියා දෙන්න

සුළඟ නුඹටවත් හැකිවෙද

 

අත්තටු ඇති හිත් පියඹන

මේ අහසට අඟුළු කොහිද

 

විමල් වීරවංශ සිරකුටියේ සිට ලියූවකි

 

කෙසේ වුවද මේ සියල්ලෙන් අපට ප්‍රකාශ කළ හැක්කේ විමල්ගේ ගත සිරකළ, සිරකුටිය ඔහුට ඇති කලාකාමී හැඟීම් සියල්ල මනාව උද්දීපනය කර ඇති බවයි. 

විමල් වීරවංශ සිරකුටියේ සිට සිත්තම් කළ සිතුවම් කිහිපයක් පහතින් 

 
Rate this item
(0 votes)
Last modified on Saturday, 11 March 2017 14:41