May 06, 2024

සැර වචන කියන්නේ හිත හොඳ අයලු

ඉංග්‍රීසි හෝඩියේ ඇතැම් අකුරු අසැබි හෝ පරුෂ වචන හැඳින්වීමට යොදාගන්නා අවස්ථා දක්නට ලැබේ. ඒ අනුව 'A වර්ඩ්', 'B වර්ඩ්', 'C වර්ඩ්', 'F වර්ඩ්', 'S වර්ඩ්' හෝ 'W වර්ඩ්' ඇතුළු තවත් බොහෝ වචන මගින් ඇඟවෙන්නේ අසැබි හෝ පරුෂ වචනයක් පිළිබඳව ශිෂ්ඨ සම්පන්න ආකාරයෙන් විස්තර කිරීමකි.

'ලිංගික සේවනය' නිරූපණය කෙරෙන ඉංග්‍රීසි F අකුරෙන් පටන්ගන්නා සම්පුර්ණ අකුරු හතරේ වචනය දකින විට, එය F* (එෆ් සහ තරු ලකුණ) පමණක් යොදා කෙටිකර දැක්වූ යෙදුම දකිනවාට වඩා යමෙකු තුළ කෝපයක් හෝ පිළිකුල් සහගත හැඟීමක් ඇතිකරන්නේ මන්ද යන්න ප්‍රහේලිකාවක් බව ඇතැම් සමීක්ෂකයෝ පවසති.

සම්පුර්ණ වචනය සහ කෙටි යෙදුම යන දෙයාකාරයෙන්ම නිරුපණය කෙරෙන්නේ එකම තේරුම වුවද ඒ මගින් කෙරෙන බලපෑම මානසික වෙනස් වන බව ඔවුහු පෙන්වා දෙති.

අසැබි සහ පරුෂ වචන

ඉංග්‍රීසි බසින් 'Swear words' යනුවෙන් හඳුන්වනු ලබන්නේ අසැබි සහ පරුෂ වචන පමණක්ම නොවේ. යම් දිවුරුමක් කිරීම සඳහා යොදාගන්නා වචනද 'Swear words' ලෙස හැඳින්විය හැකිය. එහෙත් පොදුවේ ගත්කළ එම යෙදුමෙන් අදහස් වන්නේ අසැබි හෝ පරුෂ වචන බව හෙළිවේ.

මාධ්‍ය ආයතන සෑම අවස්ථාවකදීම අසැබි වදන් හෝ පරුෂ වචන මගහැර වාර්තා කිරීමට උත්සාහ කරන නමුත් ඇතැම් අවස්ථාවල අදාළ කථාවේ අන්තර්ගතයට අනුව එවැනි වදන් කෙටිකර දැක්වීමකින් තොරව භාවිතා කිරීමට සිදුවේ. එසේම යමෙකුගේ ප්‍රකාශයක් ඒ ආකාරයෙන්ම වාර්තා කිරීමේ දී පවා එහි අඩංගු අසැබි හෝ පරුෂ වචනය (මුල් අකුර සහ *ලකුණ යොදා) කෙටිකර දැක්වීම සිදුකරයි.

ඒ අනුව පැහැදිලි වන්නේ අසැබි හෝ පරුෂ වචන ඒ ආකාරයෙන්ම මුද්‍රණය කර තිබෙනු දක්නට ලැබීම හෝ ඒවා අසන්නට ලැබීමෙන් යමෙකු අපහසුතාවට පත්කෙරෙන බවය. මාධ්‍යවේදීන්, අනෙකුත් පුද්ගලයන් විසින් අසැබි වදන් භාවිතා කරනු ලැබීම පිළිබඳ තම වාර්තාවල සඳහන් කළද එම වචන ඒ ආකාරයෙන්ම තම වාර්තාවලට ඇතුළත් නොකරන්නේ එබැවිනි.

වැරදි ක්‍රියාවක්

මෙසේ සම්පුර්ණ පරුෂ වචනය දකින්නට හෝ අසන්නට ලැබීමෙන් යමෙකුගේ සිතට ඇතිවන කෝපය හෝ පිළිකුළට හේතුව හඳුනාගැනීම සඳහා අසැබි හෝ පරුෂ වදන් යනුවෙන් හැඳින්වෙන්නේ මොනවාදැයි හඳුනාගැනීම ප්‍රයෝජනවත්වේ.

අර්ථ නිරුපණයට අනුව අසැබි හෝ පරුෂ වචන භාවිතා කිරීම වැරදි ක්‍රියාවකි. කාලයාගේ ඇවෑමෙන් යම් වචනයක් භාවිතා කිරීම වැරැද්දක් බවට සම්මතයක් ඇතිවූයේ නම් එම වචනය අසැබි වචනයක් බවට පත්වේ.

වචනාර්ථයේ ඇති අසැබි බව පමණක්ම, අසැබි හෝ පරුෂ වචනයක් නිර්මාණයවීමට හේතුවක් ලෙස සැළකිය නොහැක. උදාහරණයක් ලෙස ඉංග්‍රීසියේ 'N වර්ඩ්' නමින් හැඳිවෙන වචනයක් යොදාගනු ලබන්නේ අපහාස කිරීම සඳහාය. එය භාවිතාකිරීම බලවත් වරදකි. එහෙත් එම වචනය අසැබි වදනක් නොවේ.

'වැඩිහිටියන්ගේ වැඩිනින්ද ස්මෘතිහානියට හේතුවක්'

දිනකට කාමුක සිතිවිලි පහළ වන වාර ගණන කීයද?

ආචාර්ය රෙබෙකා රෝච් පවසන්නේ පරුෂ වචන තුළ තවත් ලක්‍ෂණ ඇති බවය. දැඩි හෝ ප්‍රබල හැඟීම් පිටකිරීම පිණිස පරුෂ වචන යොදාගන්නා බව ආචාර්ය රෙබෙකා පවසයි.

"ඔබ කෝපයෙන් නම්, එහෙම නැතිනම් ඔබ සතුටින් නම් ඔබ පරුෂ වචන භාවිතා කරනව. ඒ වගේම පරුෂ වචන චාරිත්‍රයක් හෝ එහෙම නැතිනම් තහනම් දෙයක් සමග සබඳතාවක් පවතින්න පුළුවන්. පරුෂ වදන් එක්තරා තේමාවන් සමුහයක් ආශ්‍රිතව නිර්මාණය වෙලා තියනව. ඒවා වැසිකිලිය හා සම්බන්ධ කටයුතු, ලිංගික ක්‍රියා සහ ආගම සම්බන්ධ කටයුතු සමග බැඳී පවතින බව පැහැදිලි වෙනව" යනුවෙන් ඇය පවසන්නීය.

ඓතිහාසික විකාශනයක්

වචනයක බලය කාලයත් සමග වර්ධනය වන දෙයකි. එය ඓතිහාසික විකාශනයකි. අතීතයේදී බොහෝ පරුෂ වචන ආගමට සම්බන්ධවී තිබුණි. එහෙත් බ්‍රිතාන්‍යය වැනි බොහෝ රටවල් අනාගමික බවට පරිවර්තනය වීමත් සමග අප්‍රසාදය හෝ කෝපය පළකිරීමට යොදාගන්නා 'Damn' හෝ "Jesus Christ" වැනි වචනවල ශක්තිය දියාරුවීමකට ලක්වී ඇත.

'Accidence Will Happen: The Non-Pedantic Guide to English' නමැති ග්‍රන්ථය රචනා කළ The Times (ද ටයිම්ස්) පුවත්පතේ ඔලිවර් කාම් පවසන ආකාරයට පරුෂ වචන හෝ ආවේගය පළකිරීමේ වචන ආගමික සම්බන්ධතාවලින් බැහැරව ශරීරයෙන් බැහැර කෙරෙන දුගඳ හමන අපද්‍රව්‍ය සමග සම්බන්ධතාවක් දක්වයි.

ප්‍රසිද්ධියේ ඒවා දැකීමෙන් අපට ඇතිවන පිළිකුල් සහගතබවේ ප්‍රබලත්වය මත එම වචන වල පරුෂ භාවයද තීව්‍ර වේ. උදාහරණයක් ලෙස 'shit' යන වචනය 'piss' යන වචනයට වඩා ප්‍රබල පරුෂ වචනයකි. එසේම 'piss' යන වචනය 'spit' යන වචනයට වඩා ප්‍රබලය. එහෙත් spit යන වචනය කිසිසේත් සම්ප්‍රදාය විසින් තහනම් කෙරුණු, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි වචනයක් නොවේ.

වැඩි තෘප්තියක්

පරුෂ වචන භාවිතය මගින් හැඟීම් පිටකිරීමේ ශක්තිය මැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා වේ. දැනට සොයාගෙන ඇති ආකාරයට පරුෂ වචන භාවිතය වේදනාව සමනය කිරීමට හේතුවක් වේ. ඔබ අයිස් වතුරේ අත දමාගෙන සිටින අතර නොකඩවා එවැනි වචන භාවිතා කරන්නේ නම් වැඩි කාලයක් අයිස් තුළ අත දමාගෙන සිටීමේ හැකියාව ලැබේ. එසේම එක භාෂාවකට වඩා වැඩි භාෂාවන් සංඛ්‍යාවක් කතාකරන්නෙකුට තමන්ගේ මව් භාෂාවෙන් පරුෂ වචන කීම මගින් වඩාත් තෘප්තියක් ලැබෙන අතර වඩා වැඩි මානසික ප්‍රහාරයක් එල්ලකිරීමට හැකියාව ලැබේ.

එසේම පරුෂ වචන භාවිතයෙන් වෙනත් ධනාත්මක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ලැබේ. පරුෂ වචන කිහිපයක් මිත්‍රශීලීව පැවසීමෙන් කුළුපගභාවය වැඩිවේ. මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව පරුෂ වචන භාවිතා කරන්නන් සෙසු පිරිසිදු වචන කියන්නන්ට වඩා විශ්වාසදායක බව හෙළිවී ඇත.

එහෙත් ආචාර්ය රෝච් පවසන්නේ පරුෂ වචන කීම සමාජ සිරිත් කඩකිරීමක් ලෙස සැලකෙන බවය. එය ඔබේ නිවසට අමුත්තෙකු පැමිණ සිටින විට ඔබේ සපත්තු දෙක මේසය මත තැබීමක් වැනි යැයි ඇය පවසන්නීය. පරුෂ වචන කීම වැරදි බව දන්නා නමුත් එසේ කරයි නම් එය ඔබේ ආගන්තුකයාට ප්‍රමාණවත් ගෞරවයක් නොදැක්වීමක් වන බවද ඇගේ අදහසය.

බීබීසී සංදේශය

Rate this item
(0 votes)