May 08, 2024

සමයං ඝාතනයට පැමිණි වෑන්රථයේ අයිතිකරු අමුතුම කතාවක් කියයි

කළුතර, එතනමඩල, ප්‍රදේශයේදී පාතාල නායක සමයං ඇතුළු ඔහුගේ ගෝල බාලයන් සිව්දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද ඝාතනය කර පලාගිය වෑන් රථය කින්නියා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් මොහොමඩ් හකීඹ් නමැති අයකුට අයත් වෑන් රථය බවට ඔහු පොලීසියට පැමිණ හදුනා ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.

ඉකුත් ජනවාරි 5 වැනිදා වාහනයේ හිමිකරු මරදාන ලැගුම්හලක් අසලදී මිතුරක් මගින් අහම්බෙන් පුද්ගලයකු දැන හදුනාගෙන ඇති බවත්, එම පුද්ගලයාගේ බිරිද පසුදින විදේශගතව සිට පැමිණෙන බැවින් තලවාකැලේට හයර් එකක් යාමට රථයේ හිමිකරු එකග කරවාගෙන ඇති බවත් පොලීසිය ප්‍රකාශ කළේය.

පසුදින කින්නියා සිට පැමිණි වාහනයේ හිමිකරුට ඇමතුමක් ලබාදුන් අහම්බෙන් හමුවූ පුද්ගලයා මීගමුව පාරේ ලොජ් එකක නමක් පවසා එම ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව ඔහු එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී ආහාරය සදහා බත් පැකට්ටුවක් හා වතුර බෝතලයක් ලැබුණ බවත් ආහාර ගෙන මුදල් මාරු කර ගැනීමට වත්තලට යාමට කතා කළ බවත් වාහනයේ හිමිකරු පොලීසියට පවසා තිබේ.

ඒ අතර හයර් එක කතා කළ පුද්ගලයා සිය බිරිදට කතා කළ බවත් වත්තලට යාමට පිටත් වුවද සීදූව ප්‍රදේශයේ දී තද නිදිමතක් දැනුණ බැවින් රථය මාර්ගය අයිනේ නවතා මදක් නිදා ගත් බවත් තමන් අවදිව බලන විට සිටියේ ඉංගිරිය රෝහලේ බවත් ඒ අතර සිදුවූ කිසිවක් තමා නොදන්නා බවත් රථයේ හිමිකරු පොලීසියට කියා ඇත.

තම වාහනය සුදු පාට බවත් එයට උඩින් නැවත සුදු ආලේප කර ඇති බවත් එසේම එහි බදෙහි පටි ආකාරයෙන් ස්ටිකර් අලවා නොතිබූ බවත් ආසන අලුපාටින් කවර දමා තිබූ නමුත් දැන් ඒවා රන්වන් පාට කවරවලින් ආවරකර තිබෙන බවත් ඉදිරිපස ගසා තිබූ මාෂා අල්ලා ස්ටිකරය ගලවා ඇති බවත් රථයේ රියදුරු පොලීසියට පවසා ඇත.

වාහනයේ හිමිකරුගෙන් පැය පහකට අධික කාලයක් ප්‍රකාශ ලබාගත් බවත් එම ප්‍රකාශ හා ඔහුට ඇමතුම් ලබාදුන් දුරකථන අංක අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 March 2017 10:22