April 27, 2024

අනියම් බිරිය මරා ගේ ඇතුළේ වළ දමා සිමෙන්තිත් දමලා

February 24, 2017

විසි දෙහැරිවිදි කාන්තාවක ඝාතනය කොට නිවස ඇතුළේ වළදමා ඊට උඩින් රතු සිමෙන්ති අතුරා තිබියදී ඊයේ (23) පෙරවරුවේ සොයාගත් බව අගුරුවාතොට පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ හේවාහැට, රුක්වුඩ්වත්තේ පදිංචි කුමාරි සුමිත්‍රාදේවි (22) නමැති එක්දරු මවක බවට හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

සැකකරු 33 හැවිරිදි දෙදරු පියකු වන අතර ඔහු මෙම කාන්තාව සමග කලක සිට අනියම් ඇසුරක් පවත්වා තිබෙන බවද ඔහුගේ නීත්‍යානුකූල බිරිය විදේශගත වී ඇති බව පොලීසිය කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

නාය යාමක් හේතුවෙන් ජනතාව ඉවත් කළ ප්‍රදේශයක තිබෙන පාළු නිවසකදී මෙම ඝාතනය සිදුවී ඇති අතර, ඔවුහු එම නිවසේ ජීවත්ව තිබේ. ඝාතනයට ලක්වූ කාන්තාවට හා සැකකරුට දරුවකු සිටින බවද පොලීසිය කියයි.

සැකකරු එම දරුවා ඔහුගේ මව බාරයේ තබා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලීසිය කියයි.

සැකකරුගේ වැඩිමහල් සහෝදරියක විසින් ඝාතනයට ලක්වූ සුමිත්‍රාදේවි පිළිබදව සොයා බැලීමෙන් පසු කිසිදු තොරතුරක් නොලැබීම නිසා ඇය හගුරන්කෙත පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වූ බවද පොලීසිය කියයි.

ඉබියතුරු දමා වසා තිබූ ඔවුන් පදිංචිව සිටි බව කියන පාලු නිවස පරීක්ෂා කිරීමේදී කාමරයේ කොටසක් රතු සිමෙන්ති දමා එහි පැදුරු දෙකක් එලා තිබීම ගැන පොලීසියට සැකයක් ඇති වී තිබේ.

පසුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සදහා වලපනේ දිසා අධිකරණයට යොමු කරනු ලදුව දිසා විනිසුරු එස්.එල්.එම්. විජේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට ඊයේ (23) පැමිණ පරීක්ෂණ මෙහෙයවීමෙන් නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍ය මුදිත කුඩාගම මහතා ද ඉදිරියේ නිවසේ වළ දමා තිබූ සිරුර ගොඩගනු ලැබීය.

සිරුර ගොඩගනු ලැබුවේ කොළඹ ඇගිලි සළකුණු අංශයේ නිලධාරීන්, මහනුවර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, හගුරන්කෙත පොලිස් නිලධාරීන් සහ 501 F ග්‍රාම නිලධාරී මහතාගේද සහායෙනි.

මියගිය සුමිත්‍රාදේවිගේ ගෙල පෙදෙසට හානි සිදුව තිබූ අතර, සිරුර පස්වලින් යටකට තිබුණේ අඩි තුනහමාරක් පමණ යටට හෑරූ වළක බවද වළ උඩට ලොකු ගල් දමා පසින් පුරවා තිබුණු බවද පොලීසිය කියයි.

සිරුර ඥාතීන් විසින් හදුනාගත් අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළසිරුර නුවරඑළිය රෝහල වෙත ගෙනයාමට දිසා විනිසුරු එස්.එල්.එම්. විජේසිංහ මහතා විසින් නියම කරන ලදී.

වතුයායේ පදිංචිකරුවන් පවසා සිටියේ නිතර නිතර මේ දෙදෙනා අතර ආරවුල් හා ගැටුම් පැවැති බවත් පසුගිය 29 වන දින මෙම ආරවුල පැවැති නමුත් එදිනට පසු සුමිත්‍රාදේවි නොදුටු බවත්ය.

හින්දු චාරිත්‍රයක් අනුව කිසියම් අපරධයක් සිදුවුවහොත් ඉන් ගැලවීම උදෙසා කරන ආගමානුකූලව පවත්වන පූජාවක් මඩකළපුවේ සිට ගෙන්වාගත් පූජකවරු දෙදෙනෙක් ලබා සැකකරු සිදුකරනු දුටු බවට ගම්වාසීන් කියූ බව පොලීසිය කියයි. පුහුල්ගෙඩි කැබැලි සහ කුකුළකුගේ කොටසක් සහ නිවස ඉදිරිපිට වළදමා තිබූ හක්ගෙඩියක් සොයාගත් බව කියන පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව හගුරන්කෙත පොලීසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුගේ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Rate this item
(0 votes)