May 02, 2024

වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ලෙන් කුසතුළ සිටි බිළින්දා මල මුත්‍ර පෙවීමෙන් මියයයි

February 22, 2017

මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා සිය බිරියගේ කුසේ සිටි දරුවා මල මුත්‍ර පෙවීමෙන් මියගිය බව මිය ගිය බිළිඳාගේ  පියා කෑගල්ල මහ රෝහලේ පැවැති මරණ පරීක්‍ෂණයකදී පැවැසීය.

මෙලෙස ප්‍රකාශ කර සිටියේ මාවනැල්ල, ගම්මානගොඩ පදිංචි ත්‍රිකුණාමලය පාබල යුද හමුදා කඳවුරේ සේවය කරන දෙමෝදර විජේසිංහලාගේ වසන්ත කුමාර නමැති 25 හැවිරිදි හමුදා සෙබළෙකි.

හමුදා නිලධාරියාගේ බිරියට දරුවකු ලැබෙන්න ලකුණු පහළ වී ඇති අතර පසුව පරීක්ෂා කළ වෛද්‍යවරු 2017 පෙබරවාරි 09 දින දරු ප්‍රසූතිය සඳහා දින ලබා දී තිබිණි. හමුදා නිලධාරියා බිරිය මානවැල්ල නගරයේ පෞද්ගලික රෝහලක සේවය කරන වෛද්‍යවරයකු යටතේ පරීක්‍ෂණවලට පෙනී සිට ඇති අතර එම වෛද්‍යවරයා මාවනැල්ල මූලික රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් බව හමුදා නිලධාරියා කියා සිටී.

ඉකුත් 09දා මෙම හමුදා නිලධාරියා නිවාඩු ගෙන බිරියගේ නිවෙසට පැමිණ බිරිය සමඟ පෞද්ගලික වෛද්‍යවරයා මුණගැසීමට ගොස් ඇත. එහිදී වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මාවනැල්ල මූලික රෝහලට ගොස් නතර වෙන ලෙසයි. ඒ අනුව හමුදා නිලධාරියා සිය බිරිය (10) උදේ මාවනැල්ල මූලික රෝහලේ නතර කර ඇති අතර එදින සවස සිට බිරියට දරු ප්‍රසවවේදනාව සැදුන බවත් 11 හා 12 දින දෙකේ හොඳටම අමාරු තිබියදී සැත්කමක්වත් නොකර දරුවා ලබා නොගත් බවත් කියා සිටියි.

තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා මෙන්ම රොහලේද සේවය කරන වෛද්‍යවරයා පෙබරවාරි 10, 11, 12 යන දින තුන නිවාඩු ලබා ගොස් ඇති බව සෙසු වෛද්‍යවරු හමුදා නිලධාරියට ප්‍රකාශ කර ඇත. 

පසුව රෝහලේ සිටි වෛද්‍යවරුන් අදාළ වෛද්‍යවරයාට මේ බව දන්වා ඇති අතර පසුව ඔහු (12) රාත්‍රියේ රොහලේ සිටි වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ සැත්කමක්වත් කර දරුවා ලබා ගැනීමට තමන් නොමැති නිසා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර යවන ලෙසයි. 

පසුව රෝහලේ වෛද්‍යවරුද ගැබිනි මව කෑගල්ල මහ රෝහලට මාරු කර එවා ඇත. කෑගල්ල මහ රෝහලට රැගෙන ආ බිරිය එහි වෛද්‍යවරු පරීක්‍ෂා කළ බවත් දරුවා කුස තුළ මියගොස් ඇති බවත් හමුදා නිලධාරියා හට දන්වා ඇත.

සැත්කමක් කර දරුවා ලබා ගත්තත් පලක් නැති බව දන්වා ඇත. ඒ අනුව සාමාන්‍ය ලෙස දරුවා ලැබෙන්න ඉඩ හැරීමෙන් පසු 13දා ගැබිනි මව මළ දරු උපතක් සිදුකර ඇත.

මේ මරණය සම්බන්ධයෙන් පෙරේදා (20) පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල මහ රෝහලේ දී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අගලියවන්න මහතා සිදු කළ අතර කුසේ සිටියදී මල මුත්‍ර පෙවීමෙන් හා වැදෑමහ පෝෂණය හීනවීමෙන් සිදුවූ ස්වාභාවික මරණයක් බවට කෑගල්ල මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක රේණුකා එස්. කලුආරච්චි මහත්මිය නිගමනය කළාය. 

 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 February 2017 13:32