May 03, 2024

සමහර උද්ඝෝෂණ දැක්කහම ගහන්න හිත ඉඩ දෙන්නේ නෑ

February 19, 2017

ඇතැම් අවස්ථාවලදී අවම බලය භාවිත කර ජනතාවට පහර දීමට හිත ඉඩ නොදෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි. හෙතෙම මේ අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත් පත් සාකච්ඡාවකට එක්වෙමිනි.

එම සංවාදයේ කොටසක් පහිතින්

දිනෙන් දින රටපුරා ඇතිවෙන උද්ඝෝෂණ රැල්ලෙන් වඩාත් පීඩාවන්ට පත්වන්නේ පොලීසිය. මේ අභියෝගයට කොහොමද පොලීසිය මුහුණ දෙන්නේ....?

 

අනිවාර්යයෙන්ම විශාල අභියෝගයක්. අද යහපාලන රජයෙන් මිනිසුන්ට අසීමිත නිදහසක් දීලා තියෙනවා. ඒ නිදහස භුක්ති විදීමේ එක්තරා අංගයක් තමයි කිසිම සීමාවකින් තොරව ඕනෑම කෙනෙක් පළමු පියවරේ සිට උපරිම පියවර දක්වා යෑම.

සාමය සුරකින අපට මේ තත්ත්වය විශාල අභියෝගයක්. මේ නිසා සිදුවෙනවා නීතිය අනුව, මූලික හා මානුෂික අයිතීන් සුරැකෙන පරිදි කටයුතු කරන්න. පොලීසියේ අවම බලය පාවිච්චි කරන්න, පොදු දේපළ රකින්න, පොදු ජනතාවගේ පරිසරය හදන්න වැනි දේ කරන්න අපට සිදුවෙලා තියෙනවා. ඒවගේම උද්ඝෝෂකයන්ගේ අයිතීන් රකින්නත් මේ තත්ත්වයන් දෙක අතර සමබරතාවක් පවත්වා ගැනීමේ කර්තව්‍යයත් භාරවෙලා තියෙන්නේ පොලීසියට.

නමුත් මෙවැනි අවස්ථාවල උද්ඝෝෂකයන් හා පොලීසිය අතර ගැටුම් ඇතිකරගන්නා තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා....?

 

ඒ ගැටුම් ඇතිවෙන්නේ ඒ අය ඒ අයගේ සිමාවන් ඉක්මවා යාම නිසා. මේ අය සීමාවන් අබිබවා යනවා නම් එතැනදි අපට එයට ඉඩ දෙන්න බැහැ. උදාහරණයක් වශයෙන් අධිආරක්ෂිත කලාප, ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ රාජකාරි ස්ථාන වගේම රාජ්‍ය නායකයන් විදේශිය නායකයන් යන එන තැන්වල මේ ආකාරයෙන් හැසිරුණොත් ඒක රටට අවමානයක්. ඒ නිසා ඒ අය ඒ ගැනත් කල්පනා කළ යුතුයි.

නමුත් මේ වගේ අවස්ථාවල පොලීසිය සිය අවම බලයවත් භාවිතා නොකර අධිකරණයේ පිහිට පතන අවස්ථාත් දක්නට ලැබෙනවා. පොලිසියට මෙවැනි අවස්ථාවල සිය බලය භාවිතා කරන්න බැරි ඇයි...?

අපි ගොඩාක් අවස්ථාවල ඒ බලය එලෙසින්ම පාවිච්චි කරන්නේ නැහැ. අපි අවම බලය අවශ්‍ය බලය ලෙස භාවිතා කරගෙන කළා වුවත් එතැනදි ඇතිවෙන තත්ත්වයන් ශෝචනීය වෙන්න පුළුවන්. බොහෝ විට ඉල්ලිම් ඉල්ලගෙන ආපු අය අහිංසකයන්, දුප්පතුන්, ආබාධිතයන්, හමුදා පවුල්වල සාමාජිකයන් වෙන්නත් පුළුවන්. මේ නිසා අපට කොහොමටවත් හිතක් දෙන්නෙ නැහැ අවම බලයවත් භාවිත කරලා පහර දෙන්න.

ඔබ කියන්නේ අවම බලය භාවිත කරන්නත් බැරි අවස්ථා උදාවෙනවා කියලද?

 

ඔව්. මේ වෙලාවට පොලිස් නිලධාරීන් හරිම අසරණ තත්ත්වයට පත්වෙනවා. මේ නිසා අපේ අයට පැහැදිලි උපදෙස් ලැබෙනවා තමන්ට පහරක් වැදුණත් හිංසාවක් නොවෙන තැනට වගබලා ගන්න. මේ නිසා උත්තරීතර ආයතනය වන ගරු අධිකරණයට කරුණු වාර්තා කරන්න අපට සිදුවෙනවා. මේ අය අධිකරණයට කැඳවන්නේ පළිගැනීමටවත්, ද්වේෂ සහගත හැඟීමකටවත් නොවේ. කට්ටියක් එකතුවුණාම ඒ අයගේ හැඟීම් උද්වේගකාරීයි. මේ නිසා ඒ වෙලාවේ ඒ අයත් එක්ක කතා කිරිමෙන් ඵලක් නැති වෙන්න පුළුවන්. මේ නිසා අධිකරණයක විනිශ්චයකාරවරයෙක් ඒ අයට මේ තත්ත්වය පහදලා දෙන කොට ඔවුන් කළ දේ කොතරම් නීතියට පටහැනිද නැද්ද යන යථාර්ථය ඔවුනට අවබෝධ වෙනවා.

ඔබ කියන්නේ මේ උද්ඝෝෂණ හමුවේ පොලීසිය අසරණ වන බවක්ද......?

 

සමහර වෙලාවට අසරණ වෙන වෙලාවල් තියෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 February 2017 09:53