May 07, 2024

ආනන්ද නාලන්ද ගැටුමේ CCTV දර්ශන - හේතුව පෙම්පටලැවිල්ලක්

February 16, 2017

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර අතීතයේ සිට පවතින්නේ සහෝදර සම්බන්ධයක්. විද්‍යාලන්තර ක්‍රීඩා තරග පවා මෙම දෙවිදුහල් පවත්වන්නේ සුහදතාවයටයි. 

නමුත් නව පරම්පරාව තුළ මෙම සහෝදරත්වය ගිළිහී ගොස් තිබෙනවා. මීට වසර කිහිපයක පමණ සිට ‘බිග් මැච්‘ අතරවාරයේ පවා ගැටුම් ඇති වුණා.

ඊයේ (15) පාසල් ඇරුණු පසු පුංචි බොරැල්ල එකම යුද පිටියක් බවට පත්වූයේ මෙම දෙවිදුහල් අතර සිසුන්ගේ ගැටුමක් නිසායි.

වාර්තා වන ආකාරයට මෙම ගැටුමට මුල්ව ඇත්තේ පෙම් සබඳතාවක්. ආනන්ද විදුහලේ සිසුවෙකු තවත් බාලිකා විදුහලක සිසුවියක සමග පවත්වන සබඳතාවයට හරස් කැපූ නාලන්ද සිසුවෙකුට එරෙහිව මෙම ගැටුම හටගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම සිද්ධිය නිසා පෙරේදා (14) ආනන්ද හා නාලන්ද සිසුන් අතර ගැටුමක් මහපාරේ හටගෙන ඇති අතර ඊයේ 15 සිදුවූයේ එහි දෙවැනි අවස්ථාවයි.

ඊයේ දහවල් 1.30 ට පමණ පාසල් අවසන් වීමෙන් පසු ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් තුන්සියයකට ආසන්න පිරිසක්‌ යකඩ පොලු පුටු කකුල්, වීදුරු බෝතල්, ගල් පොලු මුගුරු බයිසිකල් චේන් වලින් සන්නද්ධ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට පුංචි බොරැල්ල ප්‍රදේශයට ගොස්‌ තිබෙනවා.

පසුව නාලන්ද විදුහල ඉදිරිපිට නවතා තිබූ 120 කැස්බෑව හා 138 හෝමාගම ලංගම බස්‌ රථ දෙකට මුලින්ම පහර දී ඇති අතර, පසුව එහි සිටි ශිෂ්‍යයන්ටද ඉවක්‌ බවක්‌ නොමැතිව පහර දෙන්නට පටන් ගත් බවයි වාර්තා වන්නේ.

එහිදී නාලන්ද ශිෂ්‍යයන්ද ආනන්දයේ ශිෂ්‍යයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයට ලක්‌ වූ ලංගම බස්‌ රථ දෙක ඇතුළු වාහන අටකටද මෙහිදී බරපතළ හානි සිදු වුණා. ඇතැම් වාහන එම පටු පාරේ නිවැසියන්ට අයත්ව නිවෙස් අසළ නවතා තිබුණ ඒවායි.

පැය භාගයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති ගැටුම බොරැල්ල සහ මරදාන පොලිස්‌ ඒකාබද්ධ කළ මෙහෙයුමකින් පාලනය කළ අතර, පසුව ගැටුම මෙහෙය වූ ශිෂ්‍යයන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 8 දෙනකු සහ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

සිද්ධියෙන් තුවාල ලද 6 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

සිද්ධියට අදාළ CCTV දර්ශන පහතින්

Rate this item
(0 votes)