May 03, 2024

මව් උකුලේ සිටි දරුවෙකු පයින් ගැහුවාට දොස්තරත් පයින් ගහලා

February 13, 2017

ප්‍රතිකාර ගැනීමට මව සමඟ පැමිණි තුන් හැවිරිදි දරුවාගේ පාදයක් ඇඟෙහි ගැටුණැයි උරණ වූ මොරටුව ප්‍රදේශයේ වෛද්‍යවරයකු එම දරුවාට පා පහරක් එල්ල කර අනතුරුව සෙරෙප්පුවකින්ද පහරදීමේ සිද්ධියක් මොරටුව පොලිසියෙන් වාර්තා වනවා. 

කළුතර ප්‍රදේශයේ කාන්තාවක් ඇයගේ තුන් හැවිරිදි පුතා, මව සමඟ ඉකුත් පොහෝ දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණීමේදී දරුවා ඇද වැටී වමනය යෑමට පටන් ගෙන ඇතැයි සදහන්. 

පන්සල් යෑමට පෙර දරුවා වෛද්‍යවරයකු වෙත පෙන්විය යුතු යැයි කතාකර වැඩිහිටියන් කළුතර නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගියද පොහෝ දින බැවින් එය වසා තිබුණා. 

මීට වසර ගණනාවකට පෙර රත්මලාන පදිංචිව සිටි අවධියේදී දන්නා හඳුනන මොරටුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යෑමට තීරණය කර ඇත්තේ පොහෝදින ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය විවෘතව තිබෙන බවට දන්නා නිසා බව පොලිසිය පවසනවා.

දරුවා මවු උකුලේ සිටියදී වෛද්‍යවරයා පරීක්‍ෂා කිරීමේදී එම දරුවා දෙවතාවක් වෛද්‍යවරයාට සිය කකුලෙන් පහරදීමත් සමඟ කුපිත වූ වෛද්‍යවරයා හිඳගෙන සිටි අසුනෙන් නැඟිට රෝගී දරුවාට පා පහරක් එල්ල කර අනතුරුව දමාගෙන සිටි සෙරෙප්පුවෙන්ද පහරක් එල්ල කර ඇති බව දරුවාගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්. 

එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වෛද්‍යවරයාව ඒ මොහොතේම පොලිසියට ගෙන්වා පැමිණිල්ල විභාග කොට තිබෙනවා.

දරුවා තමන්ට පයින් ගැසූ හෙයින් තමන්ද පහරදුන් බව වෛද්‍යවරයා ස්ථානාධිපතිවරයා කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇතැයි සදහන්.

ඔහු එම්.එම්.බී.එස්. වෛද්‍යවරයකු බවද පොලිසියට පවසා අති අතර මොන වෛද්‍යවරයකු වුවත් කිසිවකුට පහරදීමට අයිතියක් නැති බව ස්ථානාධිපතිවරයා වෛද්‍යවරයාට පැවැසූ බව පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

දරුවාගේ මව පොලිසියට කළ පැමිණිල්ල අනුව නීති මඟින් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇති නමුත් පැමිණිලිකාරියගේ ඉල්ලීම මත එසේ සිදු නොකරන බවත් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා වෛද්‍යවරයාට දැඩි ලෙස අවවාද කරමින් මතුවට කිසිවකුට හෝ පහරදුන් බවට චෝදනාවක් එල්ල වුවහොත් නීති මඟින් ක්‍රියා කරන බවද වැඩිදුරටත් පවසා තිබෙනවා.

Rate this item
(0 votes)