May 03, 2024

ඩ්‍රැගන් ෆෘට්වලින් පිළිකාවට පිළියම් සෙවූ 11 වසරේ සමාෂි

February 12, 2017

පුංචි  කා‍ලයේ සිට අලුත් විදිහට හිතන්න, අලුත් දේවල් ගැන හොයන්න, අලුත් දේවල් ගැන කියන්න, හැමෝටම හිතෙන්නේ නැහැ.  එසේ අලුත් දේවල් ගැන හිතන, සොයන, බලන, දරුවන් අතරට සමාෂි විහංගා මුණවීර එක් වූයේ වයස අවුරුදු අටේ, නවයේ පටන්ය.

ඇය විද්‍යා විෂයයන්ට ආදරය කරන්නට ගන්නේ පහළම පන්තිවලදී පරිසරය පාඩම ඉගෙන ගන්නා කාලයේ පටන්ය. ඇයට හැම විටෙකම හිතුණේ තමන්ට නොව ලෝකයටම වැඩක් කළ යුතු බවයි.

ඒ සිතුවිල්ල ජය ගනිමින් ලොව ප්‍රථම වතාවට ඩ‍්‍රැගන් ෆෲට් පලතුර යොදාගෙන පිළිකා පියවි සෛල නැසීම සඳහා ස්වාභාවික ඖෂධයක් නිපදවීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලබන සමාෂි සමත්වී තිබෙනවා. ඇය මේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටිනවා.

ජාතික විද්‍යා පදනමට යොමු කළ පර්යේෂණ යෝජනාවෙන් තේරී පත්වූ ඇය පර්යේෂණය සිදුකිරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජෛවවේද හා ජෛව තාක්‍ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ පර්යේෂණය සිදුකළා.

මෙම නව සොයාගැනීම ගැන ඇය දැක්වූ අදහස් පහතින් දැක්වේ.

‘‘මා 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට පාසලේ විද්‍යා විෂය උගන්වන සාගරිකා ජයතිලක ගුරු මහත්මිය ජාතික විද්‍යා පදනම මගින් පැවත්වීමට සංවිධානය කර තිබු විද්‍යා පර්යේෂණ තරගය පිළිබඳව දැනුවත් කළා. ඊට අයැදුම් කළ පසු මා ඇතුළු බොහෝ සිසු සිසුවින්ට ඒ සඳහා සූදානම් වියයුතු ආකාරය ගැන විශේෂඥවරු අප දැනුවත් කළා. ඉන්පසුව මා වර්තමානයේ සමාජය තුළ ඉතා සුලභව දක්නට ලැබෙන පිළිකා රෝගයට අතුරු ආබාධවලින් තොර ස්වාභාවික ඖෂධයක් නිපදවීමට පර්යේෂණ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පොත්පත් කියවීමෙන් සහ අන්තර්ජාල භාවිතයෙන් රැස් කළා.’’

‘‘ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර මසකට පමණ පස්සේ ජාතික විද්‍යා පදනම විසින් මගේ යෝජනාවද තෝරාගත් බව දන්වා සිටියා. පසුව ජාතික විද්‍යා පදනම මගින් මෙම පර්යේෂණය සිදු කිරීම සඳහා අදාල උපදෙස් සහ මග පෙන්වීම ලබා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සමීර ආර් සමරකෝන් මහතා වෙත මා යොමු කළා. ඒවන විටත් ඔහු මගේ ව්‍යාපෘති යෝජනාව කියවා තිබුණා. මම ඒ ඖෂධය නිපදවීමට කහ ශාකය යෝජනා කර තිබුණත් ඔහු කියා සිටියේ කහ ශාකයෙන් ඖෂධ දැනටමත් නිපදවා තියෙන නිසා නව සොයාගැනීමක් වෙන්නේ නෑ කියලා. පස්සේ අන්තර්ජාලය සහ විද්‍යුත් සඟරා බොහෝමයක් කියවලා ඩ‍්‍රැගන් ෆෲට් පලතුර තෝරා ගත්තා. ඒ සඳහා ආචාර්ය සමරකෝන් මහතාද එකග වුණා. පිළිකා සෛල පමණක් නොවෙයි දැනට පවතින ඖෂධ සහ රේඩියෝ තෙරපිවලට ප්‍රතිරෝධී වන පියයුරු පිළිකා පියවි සෛල ඉලක්ක කරගැනීමටත් මෙම පලතුරට හැකිද යන්න පිළිබඳව අපි සොයබැලුවා. අප සිදුකල මුලික පරීක්ෂණයේදී සානාථ වුණේ එම පළතුරේ පොත්ත, මදයට වඩා වේගයෙන් පිළිකා පියවි සෛල විනාශ කරන බවයි.’’

‘‘ඩ‍්‍රැගන් ෆෲට්වල පොත්ත සතු පිළිකා නාශක ගුණය අනෙක් සම්මත ඖෂධ තරම් සක්‍රීය නොවීමට හේතුව විය හැක්කේ සාමාන්‍යයෙන් පිළිකා පියවි සෛල  සතු සෛලවලට උරාගත් ඖෂධ නැවත සෛල පටලයේ එක්තරා ප්‍රෝටීනයක් මගින් සිදුරු සාදා ඒවා සෛලයෙන් ඉවත් කරනවා විය හැකි බවට කල්පිතයක් අපි ගොඩනැඟුවා. ඒ අනුව දැනට ඇමෙරිකාවේ එෆ්.ඞී.ඒ. ආයතනය පවා ඖෂධයක් ලෙස පිළිගෙන ඇති පපුවේ වේදනාවට හා අධික රුධිර පීඩනයට භාවිත කරන එක්තරා ඖෂධයක් ඩ‍්‍රැගන් ෆෲට් පලතුරු පොත්තෙන් නිස්සාරිත නිස්සාරණය සමග යම් අනුපාතයකට මිශ්‍රකර පිළිකා පියවි සෛල වෙත යොමු කිරීම සිදුකළා. එහිදී විස්මිත ලෙස එම සුසංයෝගයට පිළිකා පියවි සෛල විනාශ කළ හැකි බව සොයාගැනීමට හැකිවුණා. මෙහි ඇති විශේෂත්වය නම් එම ඇමෙරිකානු ඖෂධය මීට පෙර පිළිකා සම්බන්ධ කිසිදු පර්යේෂණයකට භාවිත කර නොතිබීමයි. මෙම සුසංයෝගී ඖෂධයෙන් සාමාන්‍ය පියයුරු සෛලවලට හානි සිදු නොකරන අතර පියයුරු පිළිකා නසන ගුණය ඇති බවද සොයාගැනීමට මට හැකිවුණා.’’

‘‘ලොව ප්‍රථමවරට මෙවැනි ස්වාභාවික සුසංයෝගී ඖෂධයක් නිපදවීමට මට හැකිවීම ගැන ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.  මගේ සොයාගැනීම පසුගියදා ජාතික විද්‍යා පදනම මෙහෙයවූ කනිෂ්ඨ විද්‍යා සමුළුවේදී හොඳම දස දෙනා අතරට පැමිණීමට හැකිවුණා. එලෙසෙම මගේ සොයාගැනීම නුදුරේදීම අන්තර්ජාතිකව පළවන පිළිගත් විද්‍යා සගරාවකට සූදානම් කරනවා. ආචාර්ය සමීර සමරකෝන් මහතාට අමතරව එම ආයතනයේම ජ්‍යෙෂ්ඨ  මහාචාර්යවරියක වන කමනී තෙන්නකෝන් ද, නිර්මලී ලූව්, මෙරාන් එදිරිවීර, සහ වරුණි වින්ද්‍යා සහ රනා මොහාන් යන පර්යේෂකයන් මාහට ලබාදුන් සහයෝගය මා අගය කරනවා. එමෙන්ම ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ විද්‍යාව ප්‍රචලිත කිරීමට අදාළ අංශයේ අධ්‍යක්ෂක ජනක කරුණාසේන මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලයද මා ස්තුති පූර්වකව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.’’

v2

v3

v4

 

v1

Rate this item
(0 votes)