May 02, 2024

'මගේ තාත්තාව මැරුවා' මයිකල් ජැක්සන්ගේ දියණිය කියයි

සුපිරි තරුවක් වූ තම පියා සැලසුම් සහගත ලෙස මරා දැමූ බව මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන් අනාවරණයක් කරයි. 

රෝලින්ග් ස්ටෝන් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් 18 හැවිරිදි පැරිස් ජැක්සන් මෙලෙසෙ පවසා තිබේ.

එවැනි සැලසුම් සහගත මරණයක් සිදුවූ බව තමා තරයේ විශ්වාස කරන බව පවසන පැරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ තම සමීප ඥාතීන් මෙන්ම, සමීප සහෘදයන් ඒ පිළිබඳ හොඳින්ම දන්නා බවයි. 

2009 වසරේදී ඖෂධ අධි මාත්‍රාවක් ලබාගැනීම හේතුවෙන් හෘද ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මයිකල් ජැක්සන් මෙලොවින් සමුගත් බව පැවසුණු අතර, එවකට පැරිස්ගේ වයස අවුරුදු 11ක් විණි.

කෙසේවෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් මයිකල්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කෝනාඩ් මරේ පිළිබඳව සැක මතුවෙමින් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක්ද දියත් වූ අතර, පසුව වසර හතරක සිර දඬුවමක්ද මරේ වෙත උරුම විය.

පියාගේ මරණය සැලසුම් සහගතව සිදුවූ බවට අනාවරණය කරන පැරිස් විසින් වෛද්‍ය මරේ වෙත ඇඟිල්ල දිගු කළද, ඇය පවසන්නේ ඊට වඩා එහාගිය සිදුවීමක් මේ පසුපස පවතින බවයි. ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බවද ඇය අවධාරණය කරයි.

මේ සිදුවීම් සියල්ල චෙස් පුවරුවකට ගෙන එන පැරිස් පවසන්නේ, දැන් තමන්ද මේ චෙස් ක්‍රීඩාව සඳහා සූදානමින් සිටින බවයි. මේ පිළිබඳව මේ වනවිට තමාට පැවසීමට ඇත්තේ එපමණක් බවද ඇය අවධාරණය කරයි.

මේ සිදුවීමට අමතරව, පැරිස් සිදුකරන තවත් අනාවරණයක් වන්නේ වයස අවුරුදු 14 නව යොවුන් වියේ දැරියක් ලෙස තමා දූෂණයට ලක්වූ බවයි. මේ නිසාම අවස්ථා කිහිපයකදී ජීවිතය නැතිකර ගැනීමට උත්සාහ කළ බවත් පැරිස් රෝලින්ග් ස්ටෝන් සඟරාවට අනාවරණයකර තිබේ.

2017-01-26-ent-62

2017-01-26-ent-63

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 27 January 2017 10:24