May 03, 2024

කථිකාචාර්යවරයෙක් රටපුරා ATM වලට වැඩේ දීලා

ගෑස් යන්ත්‍ර උපයෝගී කර ගෙන පෙර ගෙවුම් කාඩ්පත් යන්ත්‍ර (ATM ) කඩා රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කළ බව කියන කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ඇතුළු තිදෙනකු මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය මඟින් රුපියල් ලක්ෂ 30ක මුදලක් සමඟ (24) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන අංක 75/5 මාතම්මන, මිනුවන්ගොඩ පදිංචි රත්නගිරි දේවගේ ධම්මික පුෂ්ප කුමාර (29) නමැත්තෙකි. ඔහු යුද හමුදා පාබළ ඒකකයේ වසර හතරක් පමණ කාලයක් සේවය කර ඇති අයෙකි.

මේ තැනැත්තාට මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ විවිධ පළාත්වල, අධිකරණවල නඩු 16ක්ද, වරෙන්තු 6ක්ද ඇත. මාතර, කොළඹ, කෑගල්ල, කුලියාපිටිය, මහව, මහනුවර, පොල්ගහවෙල, වත්තල, කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල බැංකු කඩා මොහු මුදල් සොරකම් කරගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබ සිටින මහඋස්සව, ආණමඩුව පදිංචි හේරත් මුදියන්සේලාගේ ධනංජය හේරත් කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යයන අංශයේ කථීකාචාර්යවරයකු බව කියන අතර එංගලන්තයේදී ඉංග්‍රී භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා ගෙන තිබෙන බවත් ජපන් භාෂාව ඇතුළු භාෂා 6ක් චතුර ලෙස කතා කිරීමට නිපුණත්වයක් ඇති අයකු බවත් පොලිසිය කියයි.

මොහු වාහනවල ටින්කර් වැඩ කිරීම ගැන අති දක්ෂයෙක් බවත් ගෑස් උදුන් ආධාරයෙන් එම වැඩ කර ලබාගත් දැනුම මත ATM යන්ත්‍ර ගැස් උදුන් උපයෝගී කර ගෙන කපා වෙන් කර ඇත්තේ මොහු විසින් බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පනාගමුව පොතුහැර පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ යසරත්න තෙන්නකෝන් නමැත්තා බැංකු කැඩීම සඳහා තැනින් තැන යෑමට වාහනයේ රියැදුරු වශයෙන් කටයුතු කළ අය බව හඳුනාගෙන ඇත.

මේ හතර දෙනාගේ කල්ලිය රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතනවල ATM යන්ත්‍ර කඩා මුදල් සොකරම් කිරීමට නිතරම සංවිධානය වෙමින් සිටින්නන් බවත් පසුගිය 20 මෙලෙස බිබිලේ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රය කඩා මුදල් සොරකම් කිරීම සඳහා එම බැංකුව අසලට වාහනයකින් පැමිණ තිබෙන බවත් වාහනය රියැදුරු සමඟ බැංකුව අසල නවතා තිදෙනෙක් බැංකු පරිශ්‍රය තුළට ගොස් ඇති බවත් එම අවස්ථාවේ කණ්ඩායමක් බැංකුවට නුදුරින් ස්ථානයක මත්පැන් පානය කරමින් සිටියදී නවතා තිබූ වාහනය ගැන සැක සිතී රියැදුරුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර රියැදුරු රහසිගතව මේ ප්‍රශ්න කිරීම ගැන බැංකුවේ ATM යන්ත්‍රය කැඩීමට ගිය තිදෙනාට දැනුම් දුන් බවත් වහාම එම තිදෙනා පිටතට පැමිණ කාරයට නැඟී පලා ගිය බවත් කියයි.

නවතා තිබී පලාගිය වාහනයේ නොම්බරය මත්පැන් පානය කරමින් සිටි අය ලියා ගෙන තිබෙන අතර සීසීටීවී කැමරා පද්ධතියද පරීක්ෂා කර එම දර්ශනද උපයෝගී කර ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලංකාවේ විවිධ පළාත්වල ATM යන්ත්‍ර කඩා සිදු කර ඇති බැංකු කොල්ල ගැන කරුණු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

සොරකම් කිරීම සඳහා ගමන් බිමන් යෑමට භාවිත කළ වාහනයද අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 January 2017 06:44