April 30, 2024

භීෂණ සමයේ අතුරදන් යුවතිය අවු 25 කින් යළි ඇවිත්

88-89 මෙරට පැවති භීෂණ යුගයේ අතුරුදහන්වූ බව කියන එවක 18 හැවිරිදි තරුණියක අවුරුදු 25ට පසුව තම නිවස සොයා ගම්පොල, ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

පද්මා කුමාරි නමැති මෙම තරුණිය අද වන විට 43 වන වියේ පසුවන අතර එවක ඇය අතුරුදහන්වීමෙන් පසුව ගඟ ඉහළකෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදහන්වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇයගේ පවුලේ උදවිය විසින් ලබාගෙන තිබෙනවා.

88-89 කාලයේ 18 හැවිරිදි ඇය විවාහ යෝජනාවකට අනුව කසාදබැඳ තොහොමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර තෙමසක් ගතවෙද්දී ඇස් බැඳගෙන නිවසට පැමිණි සිව්දෙනෙකු විසින් ඇයගේ සැමියා රැගෙන ගොස් තේ වත්තක වෙඩි තබා ඝාතනය කර දමා ගොස් තිබුණු බව ඇය පවසනවා.

සැමියාගේ දානමාන කටයුතුවලින් පසුව ඇය නැවතත් මහගෙදරට පැමිණ තිබෙනවා.

ඉන්පසු සිදුවූ දෙය ඇය පවසන්නේ මෙසේයි.

“ගෙදර ඇවිත් දවස් දෙක තුනකින් සැමියාගෙ ලොකු අම්ම කෙනෙකුගේ දුවක් කතා කරලා නාවලපිටියේ තියෙන එයාලගෙ ගෙදර එන්න කීවා. ඒවනවිටත් දැඩි පීඩනයකින් හිටිය මම එහේ ගියා. එහෙදි මට ඒ අය කීවා විහාරමහාදේවි පාර්ක් එක බලන්න කොළඹ යමු කියලා. මමත් යමු කීවා. ඒත් මේ අය මාව කොළඹ එක්කරගෙන ගිහින් ගෙදරකට බාරදුන්නා. ඒ අය මාව එහේ තියාගෙන හිරකරගෙන වැඩගන්න පටන් ගත්තා.

අවුරුදු 26ක්ම මට කිසිම නිදහසක් තිබ්බෙ නෑ. පාන්දර පහට නැඟිටලා වැඩකරන්න පටන් ගන්න ඕන. මම මේ ගෙදරට යද්දි ළමයි දෙන්නයි, මහත්තයයි නෝනයි හිටියෙ. පොඩිම ළමයට මාස තුනයි. මම ළමයි බලාගන්න වැඩයි ගෙදර වැඩයි ඔක්කොම කළා. ඔහොම අවුරුදු ගාණක් ඉන්නකොට මගේ තාත්තා මැරුණා කියලා මේ අය කතා වෙනවා. ඒ වෙලාවෙ මං ගෙදර යන්න ඕන කීවම බැනලා යන්න දුන්නෙ නෑ.

අපේ ගෙදර මට සහෝදර සහෝදරියන් 13 දෙනෙක් ඉන්නවා. එක මල්ලි කෙනෙක් නේවි එකේ හිටියා. එයත් මැරුණා. මගෙ අයිය කෙනෙකුත් මැරුණා. මට මේවා මේ අය කතාවෙනවා දැනගන්න ලැබුණා. ඒත් ඒ එකකටවත් යන්න මට ඉඩක් දුන්නේ නෑ“

වසර විසි හයකට පසුව මෙම තැනැත්තිය ඉකුත් 17 දින නැවත ගම්පොල ගිරාඋල්ල ප්‍රදේශයේ නිවසට පැමිණ පසුව නාවලපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඊයේ (19) රෝහලෙන් නික්ම යළි නිවසට පැමිණ තිබේ.

තමන් රඳවාගෙන තබා සිටියේ දෙල්කඳ හා කොට්ටාව අතර පිහිටි නිවසක බවටත්, තමා බලහත්කාරයෙන් රඳවා තබා ගත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා ඇය විසින් මේවන විට නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට නාවලපිටිය පොලීසිය විසින් කොට්ටාව පොලීසියට දැනුම්දී ඇති බව අප වාර්තාකරු පවසයි.

Rate this item
(0 votes)