May 09, 2024

'අපිත් කිරට හඬනා ළමයින් අම්මේ' (VIDEO)

December 30, 2016

සාගින්නෙන් මරණයට පත්වීම නයිජීරියාව මේ වන විට මුහුණ දී සිටින ලොව නොදුටු විශාලත ම අර්බුදයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙන්නේ හැකි ඉක්මනින් සහන ආධාර ලබා දීමට නොහැකි වුවොත් නයිජීරියාවේ අනාත කඳවුරු වල වෙසෙන දරුවන් මිය යාමේ තර්ජනයක් පවතින බවය.

මේ රූප රාමු වල දිස් වන මාස අටක නමයක වයසක පසුවන කුඩා දරුවන් සෞඛ්‍ය දර්ශක අනුව පැවතිය යුතු බරින් තුනෙන් එකකවත් ශරීර බරකට හිමිකම් කීමට වැඩී නැත.

ඉතා බරපතළ ලෙස මන්දපෝෂණයෙන් පෙළෙන මෙම දරුවන්ට දින තුනකට එක් වරක්වත් ආහාර ලබා දීමට තමන් අපොහොසත් බව ඔවුන්ගේ මව්වරු පවසති.

බොහෝ මව්වරු බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම්වලින් මිදී සිය බිලිඳුන් රැගෙන අනාත කඳවුරු වල සෙවන ලබමින් සිටිති.

කෙසේ වෙතත් මෙම අනාථ කඳවුරුවලට ලැබෙන ආධාර එහි සෙවන ලබන සියලුම දෙනා පෝෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

සාගින්න ඉවසා ගත නොහැකිව ගස්වල කොළ ලුණු සමග තම්බා සිය දරුවන්ට පානය කිරීමට දුන් බව එක් මවක් කියා සිටියේ කඳුළු පිරි දෙනෙතින්.

මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන්ට සෞඛ්‍ය සේවා සහ ළදරු කිරි ලබා දෙන මෙවැනි සායනවලට බිලිඳුන් කරපින්නා ගත් මව්වරු දහස් ගණන් දිනපතා පෝලිම් ගැසෙන නමුත් බොහෝ දරුවන් මෙවැනි සායනයකටවත් ලඟා විය නොහැකි තරම් දුෂ්කර පළාත්වල සිටින බවට එක්සත් ජාතීන්ගේ වාර්තා දත්ත සපයයි.

ඔවුන් ඉදිරිපත් කරන වාර්තා වලට අනුව මන්දපෝෂණයෙන් මිය යාමේ තර්ජනයට මුහුණ දී සිටින දරුවන් ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් මේ වනවිට නයිජීරියාව තුළ සිටියි.

මේ අතර අනාථ කඳවුරු පවත්වාගෙන යන පිරිස් විසින් ඒ වෙත ලැබෙන ආහාර ද්‍රව්‍ය බෙදා නොහැර සොරකම් කරන බවටද පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි පැවසෙන්නේ.

වීඩියෝව පහතින්

-බීබීසී සංදේශය-

Rate this item
(0 votes)
Last modified on Friday, 30 December 2016 09:37