May 03, 2024

කුඩු ගහන්න වකුගඩුව විකුණලා

November 19, 2016

යම් කිසි පුද්ගලයෙකුගේ ජිවිතයක් බේරාගැනිම සදහා වකුගඩුවක් දන්දීම, නොඑසේනම් පරිත්‍යාග කිරීම උතුම් පිංකමකි. සැබවින්ම තම සිරුරේ අවයවයක් වෙනත් කෙනෙකුගේ ජිවිතය බේරාගැනිම සදහා කරන පරිත්‍යාගය ඉතා වටිනා උතුම් ක්‍රියාවකි. ඒ ගැන කථා දෙකක් නැත. මේ අයුරින් වකුගඩු පරිත්‍යාග කිරිම් පිළිබද අපි අසා ඇති නමුත් වකුගඩු ජාවාරම පිළිබදව ද පසුගිය කාලයේ අප සමාජය තුල දැඩි වශයෙන් කථා බහට ලක්විය.

එහෙත් අප මේ කියන්නට යන්නේ වකුගඩු ජාවාරමක් ගැන නම් නොවේ. තම වකුගඩුව වෙනත් අයෙකුට මුදලට විකුණා එම මුදලින් හෙරොයින් මත්කුඩු පානය කළ තරුණයෙකු ගැනයි.

මත්කුඩුවලට ඇබ්බැහිවුවන් මත්කුඩු මිලදී ගැනිමට මුදල් ලබාගැනිම සදහා නොකරන දෙයක් නැත. තම මව, පියා විකිණිමට පුළුවන් නම් එයද කිරිමට මේ අය පසුබට නොවෙති. තම සිරුරේ අවයවයක් අලෙවිකොට මුදල් ලබාගෙන මත්කුඩු පානය කිරීම කෙතරම් ඛේදජනක කතාන්දරයක්ද? මේ ලිපියේ කතා නායකයා මුස්ලිම් ජාතික තරුණයෙකි. අපි ඔහු නසිර් යනුවෙන් හඳුන්වමු. නසිර් 35 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු ගාල්ල, දංගෙදර සමගිවත්තේ පදිංචිව සිටියේය. නසිර්ට සහෝදර සහෝදරියන් නැත. ඔහු අවිවාහකයෙකි. මොහු තම මවත් සමග මෙම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටියේය.

නසිර් තරුණවියේදීම මත්කුඩු පානයට ඇබ්බැහිවුයේය. ඔහු මත්කුඩු පානය කිරිමට ඇබ්බැහි වී සිටියේ කෙතරම්ද යත් දිනපතාම පාහේ මත්කුඩු පානය කිරීමට පුරුදුව සිටියේය. මොහුට හරිහමන් රැකියාවක් නොතිබු අතර එදිනෙදා කුලිවැඩ කිරිමෙන් උපයා ගන්නා මුදල් පවා මොහු වැය කළේ මත්කුඩු පානය කිරීම සදහාය. කොටින්ම කිවහොත් මොහු මත්කුඩු නැතිව සිටිමට පවා නොහැකි තත්ත්වයක පසුවුයේය.

මත්කුඩු පානය කරමින් සිටියදී මොහු අවස්ථා ගණනාවකදී පොලිසියට කොටුවිය. පොලිසිය මගින් මොහු අධිකරණයට ඉදිරිපත් කොට අවශ්‍ය නිතිමය ක්‍රියාමාර්ග ගත්ත ද නසිර් මත්කුඩු පානය කිරිම නතර කළේ නැත. ඔහු දිගින් දිගටම මත්කුඩු පානය කළේය. මත්කුඩු මිලදී ගැනිමට මුදල් සොයා ගැනිම සදහා මොහු සොරකම් වලට ද සම්බන්ද වුයේය. එවැනි සොරකම් සම්බන්දයෙන් ද මොහු අවස්ථා ගණනාවකදි පොලිසියට කොටුවී තිබේ. එහෙත් මොහු මත්කුඩු පානය කිරීම නම් අත්හැරියේ නැත. මත්කුඩු පානය කිරීමට මුදල් නොමැති වු විට මොහු තම මව සමග ද අඩ දඹර කරගන්නේය.

මොහුගේ ජිවිතය මත්කුඩු සමග මේ අයුරින් ගෙවි ගියේය. මාගාල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් ඔහුගේ ජිවිතය බේරාගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් යන ආරංචිය නසීර්ට දැන ගන්නට ලැබෙන්නේ තම මිතුරකුගේ මාර්ගයෙනි. ඉන්පසු නසිර් මෙකි ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් මේ ගැන ඔහුත් සමග කථා බස් කළේය. වකුගඩුවක් ලබා දීමට ඔහු පොරොන්දු විය.

ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මිලක් නියම වි තිබුණේය. නසිර්ද මේ යෝජනාවට එක පයින් කැමතිවුයේය . වකුගඩුවක් පරිත්‍යාග කිරිමට කැමති වු පමණින් එය වෙනත් කෙනෙකුට ලබාදිය නොහැකිය. ඒ සදහා වෛද්‍ය පරික්ෂණ වලටද භාජනය විය යුතුය. එම වකුගඩුව ලබාදෙන තැනැත්තාට එය ගැලපෙන්නක් විය යුතුය. එපමණක් නොව තවත් කොන්දෙසි රැසක් ඉටු කළයුතු වේ. අවසානයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ද මේ සදහා අනුමැතිය ලබා ගතයුතුය. කොයි අයුරකින් හෝ අවසානයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාට තම එක් වකුගඩුවක් ලබා දීමට නසිර්ට ඉඩකඩ විවර වන්නේය. මෙම වසරේ ජුලි මාසයේ දී ඔහු තම වකුගඩුව ලක්ෂ පහක මුදලට අලෙවි කළේය. වකුගඩු බද්ධ කිරිම කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකෙරිණි. මුලදී නසිර්ට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් ලැබුනේය.

මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාට නසිර්ගේ වකුගඩුව බද්ධ කළද ඔහුට වැඩි කාලයක් ජිවත් විමට හැකිවුයේ නැත. ඔහු වකුගඩු බද්ධ කිරිමේ සැත්කමින් සති දෙකකට පසු පසු මිය ගියේය. මේ නිසා නසිර්ට පොරොන්දු වු මුදල ලැබුණේ නැත. කොටින්ම කිවහොත් ඉතිරි ලක්ෂ එකහමාරක මුදල මොහුට මේ නිසා නොලැබී ගියේය. නසිර් තම වකුගඩුව විකිණීමෙන් ලැබු රුපියල් ලක්ෂ තුනහමාරක මුදල සම්පුර්ණයෙන් පාහේ යෙදවුයේ මත්කුඩු පානය කිරීම සදහාය. මොහු මත්කුඩු පානය කිරිමට කෙතරම් ගිජුවී සිටියේද යත් එක් වරකදී රුපියල් 1.20000ක මුදලක් යොදවා මත්කඩු ග්‍රැම් 10ක් මිලදිගෙන තිබුණේය. දින තුනක් ඇතුලත එම මත්කුඩු පානය කොට තිබුණි.

මේ අයුරින් වකුගඩුව විකිණිමෙන් ලැබුණු මුදල දින කිහිපයක් තුල මත්කුඩු වෙනුවෙන්ම නසිර් වැය කොට තිබුණේය. නසිර් ඉතිරි ලක්ෂ එකහමාරක මුදල ලබා ගැනිම සදහා ලොකු සටනක් කළේය. එක් අවස්ථාවකදි මොහු අදාල ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඉතිරි මුදල ලබා දෙන ලෙස දොර ජනෙල් වලට ගසා මහත් කලබලයක් කළේය. මේ ගැන නසිර්ට විරුද්ධව පොලිස් පොතේද පැමිණිලි ගොනු විය.

පසුගිය දිනක තම නිවසතුල මත්කුඩුපානය කරමින් සිටියදි නසිර් ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති එම්. නිමල් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය. තම එක් වකුගඩුවක් මුදලට විකුණු ආකාරය මොහු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළේය. ඒ විතරක් නොව මොහුගේ උදරයේ ඇති කැපුම ද කමිසය ගලවා පොලිස් නිලධාරින්ට පෙන්විය. අදාල සායනික කාඩ් පත හා ලියකියවිලි ද මොහු පොලිස් නිලධාරින්ට පෙන්විමට අමතක කළේ නැත.

මොහු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් දසදහසක දඩ මුදලක් නියමවිය. එහෙත් නසිර්ට එම දඩ මුදල ගෙවිමට නොහැකිවිම නිසා බන්ධනාගාරගත විමට සිදුවිය.

මෙම ලිපියේ මුලදි සදහන් කළ පරිදි අපට අවශ්‍ය ආකාරයට වකුගඩුවක් පරිත්‍යාග කිරිමට නොහැකිය. ඒ සදහා කොන්දෙසි රැසක් සම්පුර්ණ කළ යුතු වේ. මේ සම්බන්දයෙන් නම හෙලිකිරිමට අකමැතිවූ වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු අපට කිවේ මෙවැනි කතාවකි.

"වකුගඩුවක් ලබා දීමට පළමුව අදාල දායකයා ආචාර ධර්ම පද්ධති පිළිබද නිතිමය කමිටුව වෙත යොමු කරනවා. ඔහු මුලින්ම සම්මුඛ පරික්ෂණයකට භාජනය කරනවා. ඔහුගේ පවුල් පසුබිම පිළිබදව සලකා බලනවා. සැම රජයේ රෝහලකම මෙන්ම පුද්ගලික රෝහලකම මෙම අචාර ධර්ම කමිටුව තියෙනවා. මුලික පරික්ෂන වලින් පසු ඔහු වකුගඩුව ලබා දීමට සුදුසු ත.්ත්වයක සිටීනම් වකුගඩුව ලබාදෙන දායකයා පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව, පොලිස් වාර්තාව, ජාතික හැදුනුම්පත, උප්පැන්න හා විවාහ සහතික වගේ ලියකියවිලි අදාල කමිටුව විසින් පරික්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි වකුගඩු දෙක හොදට ගැලපෙනවාද කියලා ලේ බැංකුව හරහා පරික්ෂා කරනවා. ඊට පසු ආචාර ධර්ම පද්ධති පිළිබද නිතිමය කමිටුව මගින් අදාල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කරනවා. එහිදි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් එම වාර්තාව තම අත්සන යොදලා අනුමත කළාට පසු තමයි වකුගඩු බද්ධ කිරිම වෛද්‍යවරුන් විසින් කරන්නේ. මේ නිසා වකුගඩු බද්ධ කිරිමකදී හොදම දෙය තමයි තම පවුලේ ඥාතියකුගෙන් වකුගඩුවක් ලබා ගැනිමට කටයුතු කිරිම."

මත්කුඩුවලට ඇබ්බැහිවීම පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රුමි රුබන් මහතාගෙන් ද අපි විමසිමක් කළෙමු.

"ඇබ්බැහිවිය හැකි මත් ද්‍රව්‍ය අතර හෙරොයින් කියන්නේ තද බල ලෙස ඇබ්බැහිවිය හැකි මත්ද්‍රව්‍යක්. මේ සදහා මානසික හා ශාරිරික හේතු තියෙනවා. හෙරොයින් පානය කරනවිට මානසික උත්තේජනයක් ලැබෙනවා. මුලදි හොරොයින් පානය කිරිමෙන් ලැබෙන මානසික උත්තේජනය පහුවනවිට ලැබෙන්නේ නැහැ. ඒ අනුව මේ සදහා ඇබ්බැහිවුවන් කරන්නේ ලබා ගන්නා හොරොයින් ප්‍රමාණය වැඩි කිරීමයි. දිගින් දිගටම හෙරොයින් ලබා ගන්නා විට තමන්ට ලැබෙන මානසික උත්තේජනය ලැබෙන්නෙත් නැහැ. හෙරොයින් කියන රසායන ද්‍රව්‍යයට හුරුවීම නිසා මොලයේ ස්වාභාවික සතුට දැනෙන රාසායනික ද්‍රව්‍යවල වෙනසක් ඇති වෙනවා. මේ නිසා ස්වාභාවික සතුට නැතිවෙලා ගොස් තද බල ලෙස මුළු ශරිරය තුලම වේදනා ඇති වෙනවා.

මෙවැනි රෝග ලක්ෂණ නිසා හොරොයින් නැවත ලබා ගැනිමට මානසිකව විශාල කෑදරකමක් ඇති වෙනවා. හෙරොයින් තමන්ට අවශ්‍ය බව දැනෙනවා. හොරොයින් ජවාරම්කරුවන් සංවිධානාත්මකව තමයි මේ කටයුතු කරන්නේ. හෙරොයින් නතරකළවිට ඔහුට නොමිලේ පවා මත්කුඩු ලබා දිමට කටයුතු කරනවා. නමුත් මත්කුඩුවලට ඇබ්බැහිවුවන් ඉන් වලක්වා ගැනිමට අවශ්‍ය ප්‍රථිකාර තියෙනවා. පුනරුත්තාපනය කරන ආයතන තියෙනවා. මනෝ වෛද්‍ය ප්‍රථිකාරත් මේ සදහා ලබා ගන්න පුළුවන්".

ගාල්ල - ලලිත් චාමින්ද

Rate this item
(0 votes)
Last modified on Friday, 18 November 2016 17:13