May 07, 2024

කුසල් ගැන බොරු වාර්තා දුන් පර්යේෂණාගාරයට තහනමක්

November 17, 2016

තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකළ කටාර් හී දෝහා පර්යේෂණාගාරය තහනම් කිරීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA) පියවර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව නිවේදනයක් කරමින් ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ අදාළ පර්යේෂණාගාරය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පරීක්ෂණ සිදුකිරීමට අපොහොසත්ව ඇති බව යි.

ප්‍රමිතියේ අඩු ලුහුඩුකම් හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව ද වාඩා ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව ඔවුන්ට නොවැම්බර් මස 07 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මාස 04ක තහනමක් පනවා තිබෙනවා.

තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා නගමින් තහනමට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ පරීක්ෂණය ද සිදු කළේද මෙම විද්‍යාගාරයේදී යි.

එම පර්යේෂණාගාරයෙන් ලබා දුන් වාර්තාවෙන් කරුණු නිසිලෙස වාර්තා නොකිරීම හේතුවෙන්, කුසල්ට චෝදනා එල්ල වූ බවට එවක දී චෝදනා එල්ල වුණා.

ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය අනුබද්ධව පර්යේෂණාගාර 34 ක් ක්‍රියාත්මක වන අතර මෑතකදී තහනමට ලක්වූ තුන්වැනි පර්යේෂණාගාරය මෙය යි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 November 2016 11:43