April 26, 2024

‘මමයි දරුවො දෙන්නයි අපාදුක්‌ වින්දා‘ - බණ්‌ඩාරගම එස්‌.අයි.ගේ ඝාතනය ගැන බිරිඳගේ පාපොච්චාරණය

මගේ මහත්තය දරුවො දෙන්නටයි මටයි පුළුවන් තරම් වධ දුන්නා. අපට හරියට කන්න අඳින්නවත් දුන්නෙ නැහැ. මහත්තයගෙන් අපට සිද්ධවෙන කරදර හිරිහැර උහුලගන්න බැරි තැන මම එයාව මරන්න රුපියල් දහ දාහක කොන්ත්‍රාත්තුවක්‌ ලබා දුන්නා යැයි උප පොලිස්‌ පරීක්‍ෂක රූබන් පලිහවඩන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ පාපොච්චාරණය කර ඇත.

බණ්‌ඩාරගම පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ පලිහවඩන මහතා නිදි යහනේදීම කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක්‌ පුද්ගලයකු කුකුළු මස්‌ වෙළෙඳසලක්‌ පවත්වාගෙන යන අයෙකි. පලිහවඩන මහතාගේ බිරිඳ අදාළ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඔහුටය. කුකුළු මස්‌ ව්‍යාපාරිකයා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඔහුගේ හිතවතෙකුට ලබාදී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම පුද්ගලයාද සිටින බව පොලිසිය පවසයි. සැකකාර කාන්තාව පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් මෙසේද ප්‍රකාශ කර තිබේ.

“මහත්තයා මගේ දේපළ සේරම එයාගේ නමට ලියාගත්තා. ඒ හැම දෙයක්‌ම බුක්‌ති වින්දේ මහත්තයා. ලාභ ගත්තෙත් එයා. අපට එක සත පහක්‌වත් දුන්නෙ නැහැ. මමයි දරුවො දෙන්නයි මේ ගෙදර අපාදුක්‌ වින්දා.

අපට හරියට කන්න අඳින්න දුන්නෙ නැහැ. උදේ ඉඳලා රෑවෙනකල් මම කඩේට වෙලා ඉන්න ඕනේ. ළමයි දෙන්නව කඩේට එක්‌කරගෙන එන එක තහනම් කරලා තිබුණේ. එහෙම කළේ ළමයි බිස්‌කට්‌ ටොෆි, චොකලට්‌ කනවා කියලා. කඩේට ගේන කිසිම දෙයක්‌ අපට කන්න බොන්න දුන්නේ නැහැ. බිත්තර ටික පවා ගණන් කරලා තියනවා. හාල් ගෝනියෙත් සලකුණක්‌ කරලා යනවා අපි ඒවා ගනියි කියලා.

මහත්තයාගෙන් දික්‌කසාද වෙන්නවත් මට අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. මේ කරදර උහුලන්න බැරි තැන මම කුකුල් මස්‌ කඩේ මුදලාලිට කිව්වා මහත්තයාට මොනවා හරි කරන්න කියලා.

එයා මේ වැඩේ තවත් කෙනෙකුට භාර දුන්නා. මහත්තයව මරණ කොන්ත්‍රාත්තුව භාර ගන්න කෙනාව මම කලින් දවසෙ ගෙදරට එක්‌ක ඇවිත් රාත්‍රියේදී ගෙට ඇතුළුවන හැටි පෙන්නුවා.

මහත්තයව මරන්න මුලින් රුපියල් දහ දාහකුත් පස්‌සෙ තවත් රුපියල් පන් දහසකුත් දෙන්න පොරොන්දු වුණා" යැයිද ඝාතනයට ලක්‌වූ පලිහවඩන මහතාගේ බිරිඳ රහස්‌ පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. 

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Friday, 24 April 2015 07:44