April 26, 2024

ජීවිතය කෙළසූ අයුරු පිටු දෙකක් පුරා ලියා දිවිනසා ගත් නවෝදා

“මගේම රත්තරන් අම්මේ.. තාත්තේ.. අක්කේ..

මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා.. මම මගේ ජීවිතයට වඩා වොලිබෝල්වලට ආදරය කරා.. ඒ නිසා අද මෙහෙම අසරණ වෙලා ඉන්නවා. ප‍්‍රැක්ටිස් වලට ගියාම කියන දේවල් කරලා පැත්තකට වෙලා ඉන්නවා. මේ සියල්ලටම මුල  මගේ අහිංසක කම.. ඒ අහිංසක කමින් අර ආත්මාර්ථකාමියා මගෙන් ප‍්‍රයෝජන ගත්තා.. ඔයාලා මගේ ජීවිතේ වෙච්ච දේවල්වලින් නොදන්න දේවල් ගොඩයි. මම 11වසරට එනකන් කෙල්ලෙකුගේ ජීවිතේ රැක ගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ.”

තම අත් අකුරින් පිටු දෙකක් තමන් ගේ පාසැල් ජීවිතයේ තමාගේ  ජීවිතය කාලාකණ්ණියෙකු විසින් කෙලෙසු අයුරු අමිහිරි අත් දැකීම් ලියා තබා පාසැලේ වැසිකිළිය තුළදී ඇට වර්ගයක් සිනි සමග කෑමෙන් මියගිය නවෝදා එරන්දී ගේ ලිපියේ ඉහත වදන් ලියා තිබුණි. අම්පාර බණ්ඩාරණායක බාලිකා විදුහලේ විදුහල්පතිනිය විසින් මාධ්‍යවේදීන් ඉදිරියේ ඉහත ලිපිය කියවා තිබුණේ එය මාධ්‍යට ලබා දීමට නොහැකි බව පවසමිනි.

අම්පාර දිස්ති‍්‍රක්කයේ පරගහකැලේ ගම්මානයේ ජීවත් වෙන එච්.එම්. ගුනවර්ධන මහතා  තිදරු පියෙකි. පළමු දියණිය පාසැල් කටයුතු අවසන් කර රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ සිටි. ඇය නමින් දිනුෂා දමයන්තිය. දෙවෙනි දියණිය නවෝදා එරන්දීය. තෙවෙනි දියණිය කළණි මහේෂිකාය.

දෙවෙනි දියණිය මුලික  අධ්‍යාපනය ලැබුවේ වාවින්නේ පිහිටි පාසැලකය. කුඩා කල සිටම කි‍්‍රඩාවට දක්ෂ නවෝදා එරන්දි වොලිබෝල් කි‍්‍රඩාවට දක්ෂතාවයන් පෙන්විය.පාසැලේ වොලිබෝල් පුහුණු කරුවෙකු නොමැති නිසා සිවිල් ආරක්ෂක බලකායේ වොලිබෝල් පිලිබදව දන්නා පුද්ගලයෙකු මෙම දරුවන් පුහුණු කිරීම සදහා පාසැලට පැමිනියේය. විදුහල්පතිතුමාගේ සහ පාසැලේ ආචාර්ය මණඩලයේ සහයෝගය මේ සදහා ලැබී තිබුණි.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. එම විදුහලේ වොලිබෝල්කණ්ඩායම පුහුණ විමි සිදුවූ අතර කිසිවෙකු නොදත් තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි.. වොලිබෝල්පුහුණු කිරීමට පැමිණි පුද්ගලයා තවත් කාරණයකට මුල පුරමින් සිටියේය. ඒ වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි තම ග‍්‍රහණයට අසු කර ගැනීමටය. දිනක් මෙම පුහුණු කටයුතු සිදුකල පුහුණුකරුට නවෝදා එරන්දි සිසුවිය හමු විය. එදා කව්රුවත් නැති අවස්තාවක් විය. පාසැලේ කි‍්‍රඩාගාරය තුළදී අහිංසක එරන්දීගේ හිරිමල් යෞවනය උදුරා ගත්තේ ඇයගේ අහිංසක කමින් ප‍්‍රයෝජනය ගනිමින්ය..

කාලය කෙමෙන් ගෙවි ගියේය. මෙම පුහුණුකරුගේ වංචා ආදරයට නවෝදා එරන්දි නතුවිය.  දිනෙන් දින ඔහු දෙන පොරොන්දුඅතරේ අහස් මාලිගා තනමින් සිටියේය. මෙම කාලය තුලදී ඇය උසස් අධ්‍යාපනය ලැබීමට අමිපාර නගරයේ පාසැලකට පැමිණියාය.. නමුත් මෙම පුහුණුකරු එරන්දිගේ ඇසුර අත් හැරියේ නැත. ඇය තම නිවසේ සිට පාසැලට පැමිනෙන්නේ සිසු සැරිය බස් රථයෙනි. බස් රථයේ රියදුරු හිතවත් කරගත් මෙම පුද්ගලයා අතරමගදී බස් රථය නවත්වා ගෙන නවෝදා එරන්දි සිසුවිය පාසැල් නිල ඇඳුම සමගින්ම හෝටලයකට රුගෙන ගිය අවස්ථා රැසක් ඇත. දැනට ඉගිනියාගල පොලීසිය විසින් කරන පරීක්ෂණවලදී ද මෙය තහවුරු වී තිබෙ.

කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. මෙම තිරිසන් ගති ඇති මිනිසාගේ කි‍්‍රයා කලාපය ඇයට අවබෝධ විය. මේ වෙන විටත් ඇයගේ ජීවිතය විනාශ කර අවසන්ය. තමාගේ දුක කියන්නට කෙනෙක්ද නැති බව ඇයට වැටහෙන්නට විය. සමාජයට මුහුණ දිමට ඇති ලැජ්ජාව නිසා ඇය සිය දිවි හානි කර ගැනීමට තිරණය කරන්නට සිතුවේය. එහි අවසන් ප‍්‍රථිපලය වුයේ  රටට ජාතියට සම්පතක් වීමට සිටි දක්ෂ දියණියක් අපට අහිමිවිමය.

එච්.එම්.ගුනවර්ධන පියා

මේ නැති වෙලා ඉන්නේ මගේ දෙවෙනි දුව. එයා වොලිබෝල් කි‍්‍රඩාවට හරිම දක්ෂයි. මුලින්ම ගමේ පාසැලට ගිහින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට නගරයේ පාසැලට ගියා. ඉගෙන ගන්නත් දක්ෂයි. මට 10වෙනිදා පාසැලෙන් කථා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා. එන්න කියලා.. මමයි නෝනයි පාසැලට ගියා. යනකොට දැන ගත්තා දුව මල් ඇට කාලා රොහල් ගත කරා කියලා. අපි ගිහින් බලද්දී දරුවා රොහලේ හිටියා.

ගමේ පාසලේදී  ඒ අය පුරුදුකරන්න ග‍්‍රමා ආරක්ෂක සේවයේ හිටපු ඉන්දික කියන අය ගමේ විදුහලට ආවා. එයා තමයි මේ සියලූ දෙනාටම පුරුදු  කරේ. කෙහොම හරි අපේ දුව සහ මේ අය අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනා. පසුව අපි මේ පිලිබදව ඉගිනියාගල පොලීසියට දැනුම් දුන්නා.

මම මේ පිලිබදව 2014.05.08වෙනිදා ඉගිනියාගල පොලීසියට ගිහින් කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා කිවිවා මේක ගනන් ගන්න එපා කියලා. කොළඹ නම් ඕවා ගනන් ගන්නේ නැහැ කිව්වා. අපේ පැමිනිල්ල භාර ගත්තේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. එදා අපි කිව්ව දේවල් පොලීසිය ඉටු කරා නම් අදත් මගේ දරුවා ජීවිත් වෙනවා.

එචි.එමි දිනුෂා දමයන්ති (අක්කා)

නංගි මගේ යාලූවෙක් වගේ හිටියේ. හැබැයි කිසිම සිද්ධියක් මට කිවිවෙ නැහැ. එයා හිටපු ගමන් මාත් එක්ක තරහා වෙනවා ටික වෙලාවකින් ආයෙත් යාලූ වෙනවා. ඉගෙන ගන්නත් කි‍්‍රඩාවටත් හරිම දක්ෂයි. නංගිට උන දේ හිතා ගන්න බැහැ.වොලිබෝල් පුහුණු කරන්න ආපු සිවිල් ආරක්ෂක බලකායේ මිනිහා මගේ නංගිගේ ජීව්තේ විනාශ කරලා තියෙනවා. එදා තාත්තා පොලීසියට ගිහින් කියපු වෙලාවේ පියවරක් ගත්තා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.

කමණි රාජපක්ෂ  විදුහල්පතිනිය

මම මේ පාසැලට ඇවිල්ලා සතියක් වෙනවා. මේ සිද්ධිය දැන ගත්ත වෙලාවේ මම පන්ති භාර ගුරුතුමිය සමග ඉතා ඉක්මනින් මේ දරුවා අම්පාර මහ රෝහලට යැව්වා. රෝහලේදී දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දුන්නා. ප‍්‍රථිකාර ලබමින් සිටියදී තමයි මේ දරුවා මිය ගියේ. අපි ඇයගේ පොත් බෑගය බලද්දී එකේ ලියුමක් සහ ජංගම දුරකථනයක් තිබුනා. ඒ ලියුමේ තියෙන දේවල්වලින් මේ සිදුවීම පිලිබදව අපිට හිතා ගන්න පුලූවන් උනා. හැබැයි මේ දරුවාට අතවරය වෙලා තියෙන්නේ අපේ විදුහලේදී නෙවෙයි.  මෙවැනි දේවල් වැලක්වීම සදහා අපි සියලූ දෙනා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත්.

පොලිසිය

2011 වසරේ සිදු වූ සිද්ධියක් මේක. දිගින් දිගටම ගිහින් අවසානයේ 2015මාර්තු මාසේ 11වෙනිදා තමයි මේ ළමයා සියදිවි හානි කර ගත්තේ. මේ පිලිබදව පොලීසියටත් යම් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ පිලිබදව සොයනවා. පොලීසීය පැත්තෙන් වරදක් උනා නම් මේ පිලිබදවත් අපි නිතිය කි‍්‍රයාත්මක කරනවා. ඊයේ (25) පොලිසිය විසින් දියණියගේ පවුලේ අයගෙන් කටඋත්තර සටහන් කරගෙන තිබුණා.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 March 2015 10:11