April 28, 2024

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද - UPDATE

November 21, 2020

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වැනි දිනය අද වන අතර එහි සභාවාරය මේවන විට ආරම්භ වී තිබේ.

පසුව අයවැය කරක සභා අවස්ථාව හෙවත් අවවැය තුන්වනවර කියවීම ලබන 23 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වේ.

එදින පස්වරු 05.00ට අයවැය තුන්වන වර කියවීම පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

LIVE UPDATE...

9.30 A.M කතානායකවරයාගේ පැමිණීමෙන් අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ විය.

9.32 A.M කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කළේය.

9.33 A.M රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම පිළිබඳ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය.

9.35 A.M ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන ආ යෝජනාවට කතානායකවරයා විසින් අවස්ථාවක් ලබා නොදීම මත සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

09.40 A.M “ඔබ ආණ්ඩුව රකින්න කටයුතු කරන එක වැරදි” සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

9.45 A.M සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අද දින සභාව අවසානයේ මහා නායක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොට රාමඤ්ඤ නිකාය වෙත යැවීම නිවැරදිය බවය.

09.54 A.M පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ කතානායකවරයාට පෞද්ගලික තීන්දු ගත නොහැකි බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන් කරුණක් කතානායකවරයාගේ අදහසක් ලෙස ඉදිරිපත් කිරීම ඉතා කනගාටුදායක බවය.

10.08 A.M කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

10.45 A.M රාජ්‍ය ආදායමේ කඩා වැටීම රට විශාල ආර්ථික අර්බුධයකට ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.

11.05 A.M ක්ෂේත්‍ර 5ක් පුරා මුහුණ දී තිබෙන බිඳ වැටීම හේතු කොට ගෙන ආණ්ඩුව මෙම දරුණු ආර්ථික අර්බුධයට මුහුණ දී සිටින බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

11.20 A.M පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවාන්නදා මහතා ඇයවැය විවාදයට එක්වෙමින් සභාව ඇමතීම ආරම්භ කළේය.

11.31 A.M “අද හාල් ටික ගන්න විදිහක් නෑ. අද හාල් හිමියෝ ටික පාලනය කර ගන්න බැරි වෙලා තියෙනවා. හාල් 98 කියනකොට වී මුදලාලි කියනවා 91 කියලා. ආණ්ඩුව ඔලුව පාත් කරලා එතනට යනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විවාදයට එක්වෙමින් පැවසී ය.

11.44 A.M පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් ආතාවුල්ලා මහතා ඇයවැය විවාදයට එක්වෙමින් සභාව ඇමතීම ආරම්භ කළේය.

12.21 P.M අවුරුද්දකට වතාවක් අයවැයක් ඉදිරිපත් කල විට ආණ්ඩුව හා විපක්ෂය ඒ සම්බන්ධයෙන් වාද කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

12.31 P.M දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල් තැබිණි.

01.00 P.M දිවා භෝජන විවේකයෙන් පසු පාර්ලිමේන්තු විවාදය යළි ආරම්භ වෙයි.

01.04 P.M “මුදල් විශුද්ධිකරණය ජාතික ආරක්ෂාවට එරෙහි කටයුත්තක් කියලා තමන්ම හොර සල්ලි ගේන්න අවසර දෙනවා. කණගාටුයි. ඒ තමා සර් ෆේල් කියලා කියන්නේ.“ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.

01.05 P.M “උතුරු කොළඹ මැද කොළඹ මිනිස්සු මහ පාරේ. මිනිස්සු කන්න නෑ බොන්න නෑ කියලා ඉන්නවා. මිනිස්සු හිර වෙලා ඉන්නේ. සභාපතිතුමා එක්ක වැඩ කරන්න කැමතියි. කමිටුවට බලතල දෙන්න. “ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

01.05 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊට මැදිහත් වෙමින් සඳහන් කළේ “කොළඹ දිස්ත්‍රික් දිසාපතිතුමාට කතා කළා. පවුල්වලට රුපියල් 5000ගානේ දීලා තියෙනවා. ඹයාට ඕන එක නෙමේ උත්තර දෙන්නේ. උත්තරේ අහගන්න. මෙතන නැති ප්‍රශ්න හදන්න යන්න එපා. වාඩි වෙනවා මනෝ ගනේෂන් තමුසේ. දන්න දේ තමා කිව්වේ“

01.07 P.M “10,000 සහන මල්ල දෙන්නේ ලොක්ඩවුන් කරපු මහල් නිවාස කිහිපයට පමණයි. ඊට අමතරව රුපියල් 5000දීමනාව විශාල ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා පැවසීය.

01.25 P.M අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේ “මෙච්චර දුෂ්කර අවස්ථාවක අපි ෆේල් නෑ. සාමාන්‍ය පෙළ උසස් පෙල විභාග තිබ්බා. සහන දුන්නා.“

01.35 P.M “මට දුක නෑ මට දුක මේ කතාවට. ලැජ්ජා නැතිව මේ කතාව කියන්නේ ඇඳුම් ඇඳගෙනද කියලා ඒකටයි දුක“ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේය.

01.42 P.M ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසූාව් “එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මේ සභාවේදි පට්ටපල් බොරුවක් කිව්වා. 1978 ආණ්ඩුව බාර දෙනකොට සියයට 28ක් තිබුණ රාජ්‍ය ආදායම අද සියයට 9 දක්වා පල්ලම් බැහැලා තියෙන්නේ නව ලිබරල් වාදී ආර්ථික ප්‍රතිපත්තිවල තියෙන වැරදි නිසා“

01.54 P.M “අයවැයෙන් පසු නිවාඩු කාලයක් ලැබෙන්නේ. නිවාඩු කාලයෙන් පස්සේ ආණ්ඩුවටත් අයවැය අමතක වෙනවා. විපක්ෂයටත් අයවැය අමතක වෙනවා. මාධ්‍යයටත් අයවැයි අමතක වෙනවා. ඊලඟ අවුරුද්දේ ඔක්තෝම්බර් නොවැම්බර් වෙනකම්“ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසී ය.

02.04 P.M අමාත්‍ය විමල් වීරවංශ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ “අසමත් භාවයේ පියවරු තමයි සමත් අසමත්භාවය ගැන කතා කරන්නේ“

02.18 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සභාව ඇමතීම ආරම්භ කළේය.

02.31 P.M “ සිහින සැබෑ කරපු කණ්ඩායමකටයි ජනතාව රටේ වගකීම බාර දීලා තියෙන්නේ‘ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසී ය.

02.40 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ “ කොන්ද පණ නැති නායකයෝ මේ රට පාලනය කරනකොට විරුදින සමරන්න ඇති. ඒවගේම ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරන්න ඇති. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට පාලනය කරනතාක් විරුදින සමරන්න ඉඩ දෙන්නේ නෑ.“

02.50 P.M පාර්ලිමේන්කු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සභාව ඇමතීම ආරම්භ කළේය.

02.51 P.M ඊට මැදිහත් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසූවේ “හමුදාපතිට කියනවා යුද අපරාධකාරයෙක්ලු. තමුන්නාන්සේ නැගිටින්න. තනිකර ත්‍රස්තවාදියෙක්. ආයෙත් ත්‍රස්තවාදී පාට් දාන්න දෙන්නේ නෑ“

03.05 P.M “ශක්තිමත් ජාතික ආර්ථිකයක් මත ගොඩනැගෙන ස්වාධින ජාතික රාජ්‍යයක් ඒ අද දවසේ ජාතියේ පැතුමයි“ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කළේය.

03.13 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ “කොළඹ දිස්ත්‍රික්කයේ මේ පවතින බරපතල ප්‍රශ්නය අපි කවුරුත් මේ උත්තරීතර සභාවට ගේන්න ඹ්න. හෙට අනිද්දා මිනිස්සු දැන් අද ආවා මම දන්න පොලිස් නිලධාරීන්ට කතා කලා ඒක පාලනය කර ගත්තේ දවස් දෙක තුනක් වුණානම් එය පාලනය කර ගන්න බැරි වෙයි. මිනිස්සු කඩාගෙන එලියට එයි කියලා දන්නවා.“

03.20P.M “පොන්නම්බලම් මන්ත්‍රිතුමා කලින් කතා කලා එල්ටීටීඊ එක වෙනුවෙන් කතා කළේ. ප්‍රභාකරන්ගේ අවතාරයක් මෙතන්ට ආව විදිහට තමා කතා කලේ. මෙන්න මේ කතා හින්දා තමා දෙමල මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්නේ.“ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

03.29P.M සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසූවේ “ඉතා අසහනකාරී තත්වයක ඇතුලත තමන්ට කන බොන දේවල්ටික හොයාගන්න බැරුව අද කොවිඩ් අනාරක්ෂිත තත්වය තුල පවා පාරට බහින යුගයක් ඇතිවෙලා. දේශපාලනය නෙමෙයි රටේ ජනතාව ජීවත් කරවන වැඩපිළිවෙලක් සඳහා අවධානය යොමු කරන්න“

03.37P.M පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සභාව ඇමතීම ආරම්භ කළේය.

04.11P.M “සාමාන්‍ය යෙන් කොරල පිටින් මාළු කන්නේ නෑ. මම ධීවරයෙක්ගේ පුතෙක්. අපේ ධීවරයින්ට අවමාන කලා. ධීවරයින් කොරල පිටින් මාළු කන්නේ නෑ“ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සඳහන් කළේය.

04.27 P.M පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විවාදයට එක්වෙමින් පැවසූවේ “ කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ කොහොමද කියලා එක් පරිච්ඡේදයකට වෙන් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට රුපියල් 5000 දීගන්න බැරි වෙලා“

04.34 P.M  “2019 පහුගිය ආණ්ඩුවට අය වැයක්වත් ඉදිරිපත් කරගන්න බැරි වුනා.පහුගිය ආණ්ඩුවෙ ආර්ථික කළමණාකරණය මේ වෙන කොට තිබුන නම් ඩොලර් එක 250 ට නැගල.කොරෝනා නිසා පවුල් ලක්ෂ හැත්තෑ දෙකකට අපි සහනාධාර දුන්නා.“ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

05.04 P.M “අවුරුදු 5ක් විනාශ කරපු සෙට් එක. අන්තවාදය හදලා. ත්‍රස්තවාදය පෝෂණය කරලා මත්කුඩු පාතාලය ශක්තිමත් කරලා මේ රට විනාශ කරලා. වෙබ් සයිට් 25ක් ලියාපදිංචි කරලා තියෙනවා මඩ ගහන්න. මඩ ගහන සියලු දෙනාට පඩි ගෙවන්නේ රිෂාඩ් බදියුදීන්.“ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

05.11 P.M “ අපි කටයුතු කරන්නේ අපේ රටට වාසි වෙන විදියට. අපේ රජයට වාසි වෙන විදිහට. අපේ ජනතාවට වාසි වෙන විදිහට“ යැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

05.32 P.M අයවැය ඡන්ද විමසීම ආරම්භ විය.

05.34 P.M 2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ආරම්භවීමත් සමග විපක්ෂයේ විරෝධය හේතුවෙන් උණුසුම් තත්වයක් 

05.34 P.M රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අසනීප තතවයක් නිසා අද දින පැවැත්වෙන ඡන්ද විමසීමට නොපැමිණෙන බව දැන්වූ බවත් එතුමාව බලෙන් ගෙන ආ නොහැකි බවත් කතානායකවරයා සඳහන් කළේය.

05.46 P.M අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අනුව වැඩි ඡන්දයෙන් අයවැය සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 සහ විපක්ෂව 52 ලැබුණු බව කතානායකවරයා විසින් නිවේදනය කළේය.

05.47 P.M රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව 

05.48 P.M පළමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝකය පල කිරීමේ යෝජනාව ඉදිරිපත් කළේය.

05.50 P.M එම යෝජනාව ස්ථීර කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකෙරිනි.

05.54 P.M රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සමග තමන්ද එකතු වන බව කතානායකවරයා සඳහන් කළේය.

05.55 P.M ලබන 23 වනදා පෙරවරු 9.30 වන තෙක් කල් තැබීමේ යෝජනාව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 09:24

Related items