May 20, 2024

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුම එළියට

February 11, 2020

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහයෝගය දැක්වීම සඳහා ග්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදී.

එම ගිවිසුම්වලට අනුව ග්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉහළ වටිනාකමක් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා දී තිබෙන බව  එම පක්ෂය සඳහන් කරයි.

මෙම අවබෝධතා ගිවිසුම්වලට මූලික වන ප්‍රධාන පක්ෂය ග්‍රී ලංකා පොදුජන සන්ධානය නිර්මාණය කොට එම සන්ධානයේ සම නායකයන් ලෙස ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් නම් කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැතිවරණයට තරග කිරීම සඳහා 30%ක් නාමයෝජනා ලැයිස්තුවෙන් අවස්ථාවක් දීමට ද ග්‍රී ලංකා පොදුජන සන්ධාන ව්‍යවස්ථාවේ ඇතුළත් කොට තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ග්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ ප්‍රධාන කාරණා පහත පරිදිය.

ගිවිසුම්ගත වීමට හේතුව ගිවිසුමට අනුව

2019 නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු මෙරට ප්‍රගතිශීලී පක්ෂ හා බලවේගයන් නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට කටයුතු කර ඇති හෙයින් ද,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යුගයේ කාර්යභාරය මැනවින් තේරුම් ගනිමින් මාතෘ භූමිය දැනට පත්ව ඇති අස්ථාවර තත්ත්වයෙන් ගොඩගෙන නිවැරදි දිශාවකට යොමු කොට ග්‍රී ලංකාවේ සියලු ජන කොටස් සඳහා සිය කාර්යභාරය ඉටු කිරීමට කැප වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කර ඇති හෙයින් ද,

ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන සියලු ජාතික, පළාත් හා පළාත් පාලන මැතිවරණවලින් ජනතා ජයග්‍රහණය සාක්ෂාත් කරගැනීම සඳහා සියලු වාමවාදී හා ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කර ගැනීම මෙම අවස්ථාවේ දී අපගේ මාතෘභූමිය වෙනුවෙන් අනිවාර්යයෙන්ම කළ යුතු යුගයේ කාර්යභාරයක් වන බැවින්ද,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුල් කොටගත් තවත් දේශපාලන පක්ෂ ගණනාවක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නැමැති සන්ධානයේ පාර්ශ්වකරුවකු ලෙස සන්ධානගත වී ඇති හෙයින්ද,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂා කරන ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරවා ගැනීමේ හා සමගිය ගොඩනැංවීම තුළින් වඩාත් අර්ථාන්විතව ජනතාව සමඟ ඒකාබද්ධව ශක්තිමත් දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් 2019 ඔක්තෝබර් මස 10 වැනි දින කොළඹ දී අත්සන් තබන ලදී.

ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නැමැති දේශපාලන සන්ධානයට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වකරුවකු ලෙස ඇතුළත්ව එකී සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතු හා ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මග තීරණය කරන රජයක් තුළින් කළ යුතු කාර්යයන් පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවකට ඇතුළත්ව ඇත. ජයග්‍රහණයෙන් පසු එකී ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්තිමය එකඟතා මත රාජ්‍ය ආරක්ෂාව, ආර්ථිකය, ජනතාවගේ සුභසාධනය ඇතුළු අනිකුත් කර්තව්‍යයන් නොපිරිහෙළා ඉටු කිරීමට දෙපාර්ශ්වය එකඟ වේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් පිහිටුවනු ලබන රජයේ රාජ්‍ය පාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතයින්ට හා පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් හෝ වෙනස්කම් සිදු කිරීමට ඉඩ නොතබා ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහතික වේ.

ජනාධිපති මැතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්දපොළ නියෝජිතයින්, ගණන් කිරීමේ නියෝජිතයින්, ආසන භාර හා දිස්ත්‍රික් භාර නියෝජිතයින් පත්කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන්ට ද සාධාරණ අවස්ථා සලසා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ජනතා නියෝජිතයින් හා පාක්ෂිකයින් මතු කරනු ලබන කරුණු කාරණා පිළිබඳව මනා ලෙස ඇහුම්කන් දීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහතික වේ.

විශේෂයෙන් ජාතික වශයෙන් වැදගත් වන දේශපාලන හා ප්‍රතිපත්ති තීන්දු තීරණ ගන්නා අවස්ථාවල දී සුවිශේෂී වශයෙන් දමිළ, මුස්ලිම් සහෝදර ජනතාවට බලපාන ප්‍රශ්නවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මතය විමසා සම්මුතිවාදීව කටයුතු කිරීමට ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ එකඟ වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිතයන්ට ද ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ක්‍රියාශීලීව සහභාගි වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වේ.

දැනට පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වී ඇති මන්ත්‍රීවරුන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්‍රතිපාදන හා වෙනත් පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වේ.

ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන ජාතික, පළාත් හා පළාත් පාලන මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම පක්ෂය 2018 පළාත් පාලන මැතිවරණයේ දී ලබාගන්නා ලද ඡන්ද පදනම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මගින් පිහිටුවනු ලබන රජයක් තුළ සෑම තලයක ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නියෝජිතයින් සඳහා ප්‍රමාණාත්මක හා සාධාරණ නියෝජනයක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වේ. මෙයට ප්‍රාදේශීය සංවර්ධන කමිටු දිස්ත්‍රික් සංවර්ධන  කමිටු ද ඇතුළත් විය යුතුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත්කරන නියෝජිතයන්, පත්කිරීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිතුමා සතු වන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුබද්ධ සංවිධාන එකිනෙකට ස්වායක්තව අන්‍යොන්‍ය වශයෙන් බලපෑම්කාරී නොවන ආකාරයට පැවතිය යුත්තේය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය සමිති අතර වැඩබිම්වල ඇතිවන ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් අමාත්‍යවරුන්, මහ ලේකම්වරුන් හා වෘත්තීය සමිති නායකයින් නියෝජනය කරමින් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවක් හා එම කමිටුවට යටත්ව වෘත්තීය සමිති අනු කමිටුවක් පිහිටුවිය යුතුය. කමිටුවේ සංයුතිය දෙපාර්ශ්වයේ එකඟතාව මත සකස් කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට කැපවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහතික වේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබන ජයග්‍රහණයත් සමගම ඉන් අනතුරුව එළඹෙන ජාතික හා පළාත් මට්ටමේ, පළාත් පාලන මට්ටමේ මැතිවරණවලදී ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කරමින් ප්‍රතිගාමිත්වයට හිම ඔසවන්නට ඉඩ නොදී තවදුරටත් සමගි සම්පන්නව සන්ධානගතව දේශපාලන ක්‍රියාවලියෙහි නිරත වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන රජය ආරක්ෂා කරගනිමින් එය ශක්තිමත් කරමින් ප්‍රතිගාමී බලවේග පරාජය කරමින් ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් හා බලාපොරොත්තු මල්පල ගැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරතුරුව කැපවන බවට පොරොන්දු වේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය වන ජාතික වැදගත්කමින් යුත් ප්‍රතිපත්ති තීරණ හා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කොට ඒවා අප්‍රමාදව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය හා දේශපාලන පන්නරය ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධාන රජයට නොඅඩුව ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වේ.

Rate this item
(0 votes)