May 20, 2024

මෛත්‍රී-ශවේන්ද්‍ර සහ අමෙ­රි­කාව

සතියෙන් සතියට එකිනෙකට වෙනස් වූ පුවත් මැවෙන ශ්‍රී ලංකාවේ, මේ සතියේ මැවුණු අලුත්ම හා රටේත්, ජාත්‍යන්තර වශයෙනුත් වැඩි අවධානයක් ඇති කළ පුවත වූයේ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීමය. රටේ බහුතර මතය වූයේ මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා ලද කාලෝචිත ක්‍රියාවක් බවය. අද රටේ ආරක්ෂාව පළමු කොට සලකා කටයුතු කරන ජනාධිපතිවරයා එහි වූ හිඩැස් පිරවීමේ දී ඒ සඳහා දක්ෂ, ඒ පිළිබඳ නිපුණතාවලින් සපිරි අත්දැකීම් බහුල සුදුසුම පුද්ගලයා තේරීම හැරුණු කොට ඒ වෙනුවෙන් ජාති ආගම් පක්ෂ පාට ගැන බැලුවේ නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සියලු රණවිරුවන්ට සාධාරණය සමානතාව ඇති වන ආකාරයෙන් වටිනා මෙහෙයක් සිදු කළ අතර, මෙය ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් පමණක් සිදුකරන ලද සැලකීමක් ලෙස හැඳින්විය නොහැකිය. සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමුණේත්, මහේෂ් සේනානායක යුද හමුදාපති ලෙස පත් කළේත් පසුගිය රජය සමයේ මේ රණවිරුවන්ට සිදු වූ අසාධාරයන්ට ප්‍රතිකර්මයක් ලෙසය. ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය වූ කොටි සංවිධානය පරාජයට පත් කරන්නට නායකත්වය දුන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මෙහෙය ඇගයීමක් ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ගුවන් හමුදාවේ ඉහළම නිලය වූ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිලයටත්, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නාවික හමුදාවේ ඉහළම නිලය වූ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නිලයටත් උසස් කළේ ද පසුගිය දා යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ලුතිනන් නිලය දක්වා උසස් කළේ ද ජනාධිපතිවරයා විසිනි.

රණවිරුවන්ගේ අභිමානය ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඉහළට ඔසවා නිසි ගෞරවය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලද සෑම අවස්ථාවක දී ම පියවර ගත්තේය. එක්සත් ජාතීන්ගේ 71වැනි මහ මණ්ඩල සැසිය පැවැත් වූණේ 2016 සැප්තැම්බර් මස 20 වැනිදාය. එම වකවානුව වන විට ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පැවැතියේ කළු පැල්ලමකි. එය සුපිරිසිදු කිරීමේ වගකීම ඉහළින්ම ඉටු කරමින් ලෝක නායකයන් සහභාගි වූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ‘ලෝකයේ ඉතා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානය තමයි අපේ ආරක්ෂක හමුදාව පරාජය කරනු ලැබුවේ. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතිව ස්ථීර සාමයක් ඇති රටක් විදියට පවතින්නේ. ශ්‍රී ලංකාවේ ස්ථීර සාමයක් ඇති කරන්න අපේ ආරක්ෂක හමුදාව සිදුකළ යුග මෙහෙවර මෙහි දී මා ගෞරවයෙන් සිහිපත් කරනවා. යුද්ධය අවසන් වෙලා වසර 10 ගත වන වෙලාවේ අලුත් විදියට මාගේ මාතෘභූමිය දෙස බලන්න කියා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. යැයි කියමින් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් ස්ථාපිත කිරීමේ මතය වෙනස් කරවීමට ජනාධිපතිවරයා එදා සමත් විය.

මේ ආකාරයෙන්ම යුද්ධයේ දී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ සුබ සාධනයට කටයුතු කළා සේම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් ද සුවිශේෂි ලෙස කටයුතු කළ බව කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. කාලයක් තිස්සේ රණවිරුවන්ගේ ආත්ම ගරුත්වය කෙළෙසෙන ආකාරයෙන් මාර්ගවල කසළ එකතු කිරීම, පිරිසිදු කිරීමේ කටයුතු වැනි කාර්යයන්හි යොදවනු ලැබුවත් එම වැඩපිළිවෙළ මුළුමනින්ම නවතා ඔවුන් සතු වෘත්තීය හැකියාවන් අනුව සංවර්ධන ක්‍රියාදාමයට දායක කර ගැනීමට පියවර ගනු ලැබිණි.

එමෙන්ම මේ රටේ යුද්ධයක් අවසන් කර සාමය උදා කිරීමේ අත්දැකීම් ලත් හමුදාවක් ලෙස අප හමුදාව හයිටි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට ද පියවර ගැනිණි. මේ ආකාරයෙන් රණවිරුවන් ගෞරවාන්විත සේවයේ යොදා ගනිමින් සිටින මොහොතක ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම ගැන දක්වන විරෝධය කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීමේ දී මුලින්ම විරෝධය පළ වූයේ අමෙරිකා එක්සත් ජනපදයෙනි. මේ පත් කිරීම පිළිබඳ සිය දැඩි අවධානය යොමුවී තිබෙන බව කියමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද කාර්යාලය කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ බරපතළ චෝදනා ඇති අතර, එය විශේෂයෙන් සංහිඳියාව හා ජාතික සමඟිය අවශ්‍යතාව දැඩි ලෙස අවශ්‍ය කරන මොහොතක ඔහු යුද හමුදාපති ලෙස පත් කිරීම ශ්‍රී ලංකාවේ කීර්ති නාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම හෑල්ලුවට ලක් කිරීමක් බවත් එම පණිවුඩයේ සඳහන් කර ඇත.

තව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සිය කනස්සල්ල පළ කරන බව කියා සිටියි. මේ අයුරින් ජාත්‍යන්තරය විරෝධය පළ කළත් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම මෙරට ආරක්ෂාව වෙනුවෙන් ගත් ඉහළම ක්‍රියා මාර්ගය බව රටේ බහුතරයකගේ අදහස වේ. අද ජාත්‍යන්තරය ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධ වන්නේ තිස් වසරක් පුරා මෙරට ජනසංහාර සිදු කරමින් රට විනාශ කළ කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දමා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට 58වැනි සේනාංකයට නායකත්වය දුන් විරුවා නිසාය.

එදා කොටි ත්‍රස්තවාදීන් මෙරටේ සාමාන්‍ය වැසියන් ඇතුළු ලක්ෂ ගණනක් මරා දැමුවේ මේ ජාත්‍යන්තරයේ සහාය ඇතිව බව කවුරුත් දන්නා රහසකි. අවසන් යුද්ධය පැවැති සමයේ මේ රටවල් සියල්ලක්ම මොර දුන්නේ කොටින් බේරා ගැනීමට මිස වෙනත් කිසිවකට නොවේ. එවන් ජාත්‍යන්තරය කොටින්ගේ බෝම්බයට හසුව සාමාන්‍ය වැසියන් සිය ගණනක් මරුමුවට පත් වූ අවස්ථාවන් හි දී සිදු කළේ එම ප්‍රහාරය හෙළා දකින බවට නිවේදනයක් නිකුත් කිරීම පමණි. කිසි දවසක සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව සිදු කළ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව කිසිදු පියවරක් ගත යුතු බවට මේ ජාත්‍යන්තරය අදහස් පළ කළේ නැත. මෙවන් තත්ත්වයක් හමුවේ ත්‍රස්තවාදයට පණ පෙවූ ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට මේ රටේ ආරක්ෂක සැලසුම් සකස් කළ යුතු නොවේ.

ශවේන්ද්‍ර සිල්වා යනු හමුදාවට වෛර කරමින් හමුදාපතිකම් දරන නායකයෙක් නොවන බව මෙහි දී විශේෂයෙන් අවධාරණය කළ යුතුය. කොටි සංවිධානයට විරුද්ධව යුද්ධය මෙහෙය වූ අවස්ථාවේ සිය සෙබළාගේ ආරක්ෂාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වමින් සතුරා පරදවමින් ඉදිරියට ඇදී යමින් සිය සේනාංකයට නායකත්වය දුන් විරුවකු ලෙස අර්ථ කථනය කළහොත් එය කිසිවකුත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහු කොටින් පරදා ඉදිරියට ඇදී යන අතරතුර කොටි ග්‍රහණයේ හිරවී සිටි සාමාන්‍ය වැසියන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කළ මෙහෙය ගැන අද කවුරුත් කතා නොකිරීම කනගාටුවට කරුණකි.

මධ්‍යම පළාතේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියට කැඩෙට් නිලධාරියකු ලෙස එක් වන්නේ 1984 වසරේ දී ය. ඔහු සිය 34 වසරක හමුදා සේවය තුළ දෙවැනි ලුතිනන් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා ගමන් කර ඇත්තේ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දෙමින් ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරියකු ලෙසය. සිය පාසල් අධ්‍යාපනයෙන් පසු එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පාඨමාලා හදාරා උපාධියක් ලබා ගන්නා හෙතෙම ඉන්දියාවේ දී දර්ශනවාදය, ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ උපාධියක් ද ලබා ගන්නේය.

කලක් ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියේ අණ දෙන නිලධාරි ලෙස ඔහු කටයුතු කළේ අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රාලය, ග්‍රීසිය, ඉතාලිය, ප්‍රංශය, පාකිස්තානය හා ඉන්දියාව වැනි රටවල හමුදා පුහුණු පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් ලද නිලධාරියකු ලෙසය. තිස් වසරක් පුරා මෙරට පමණක් නොව ලොව බලගතුම හමුදාවක් ලෙස සැලකෙන ඉන්දීය හමුදාවට පවා පරාජය කිරීමට නොහැකි වූ එල්. ටී. ටී. ඊ. සංවිධානයට එරෙහිව 2009 වසරේ මෙහෙයවන ලද හමුදා මෙහෙයුමේ දී ඉදිරිපෙළ හමුදා බල ඇණි මෙහෙය වූ නිලධාරීන් කිහිප දෙනා අතරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58වැනි සේනාංකයට නායකත්වය දුන්නේ ශවේන්ද්‍ර සිල්වාය.

එහි දී එල්. ටී. ටී. ඊ. සංවිධානය ලද පරාජය දරාගත නොහැකි දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ කොටි හිතවාදීන් ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දෙන ලද 58වැනි සේනාංකය 2009 යුද්ධයේ අවසාන අදියරයේ දී සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කළත් එම චෝදනාව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙලෙස තිස් වසරක යුද්ධය නිමාවට පත්වීමෙන් පසු 2010 වසරේ දී තානාපති සේවයට එක් වූ ඔහු 2015 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ නිත්‍ය නියෝජ්‍ය තානාපති ලෙස කටයුතු කර යළි මෙරටට පැමිණි ඔහු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදි. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් දා ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපති ධුරයට පත්විය.

දෙමළ ජාතික සන්ධානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි බරපතළ චෝදනාවලට ලක් වූ අයකු යුද හමුදාපති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීම සම්බන්ධයෙන් අතිශය කලකිරීමට පත්වන බව සඳහන් කර සිටියේය. දෙමළ ජාතික සන්ධානය ගැන අපට පුදුම වන්නට දෙයක් නැත. දෙමළ ජාතික සන්ධානය යනු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් තම සංවිධානයට දේශපාලන ආරක්ෂාවක් සලසා ගැනීම වෙනුවෙන් පිහිටුවන ලද දේශපාලන පක්ෂයකි. අවසන් යුද සමයේ හමුදාව අතින් සාමාන්‍ය වැසියන්ට හානියක් සිදුවූවා යැයි කියන්නේ නම් ඊට මුළුමනින්ම වගකිව යුත්තේ දෙමළ ජාතික සන්ධානයයි.

අවසන් යුද සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය සාමාන්‍ය වැසියන්ව මිනිස් පළිහක් ලෙස යොදාගත් බව ප්‍රසිද්ධ රහසකි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සලසා දුන්නේ අද මානව හිමිකම් ගැන කතා කරන දෙමළ ජාතික සන්ධානයයි. එදා ඒ සාමාන්‍ය වැසියන්ට කොටි රැඳී සිටි ප්‍රදේශවලින් ඉවත් වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේ නැත. එසේ කටයුතු කරමින් සාමාන්‍ය වැසියන් බිල්ලට දී දේශපාලනය කරන දෙමළ ජාතික සන්ධානය දරන විරෝධය ඵල රහිතය.

අවසන් යුද සමයේ 58 වැනි සේනාංකය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ බටහිර මුහුදේ මන්නාරම් සහල්නැලියෙනි. ඒ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන්. එය අවසන් කළේ වෙල්ලමුල්ලිවෛක්කාල් මුහුදු තීරයෙන් වේළුපිල්ලේ ප්‍රභාකරන් ද අවසන් කරවමිනි. එම කාලයේ බොහෝ දෙනකු ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි සේනාංකය හැඳින් වූයේ Killer Vehicle (මාරයාගේ රිය) යනුවෙනි. එවන් නාමයක් භාවිත කරන්නට හේතු වූයේ මේ සේනාංකය වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් විනාශ කරමින් වැඩිම ත්‍රස්ත බලකොටු ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉතා ඉක්මනින් ඉදිරියට ගිය නිසාය. මෙවන් අවස්ථාවක තම සේනාංකයේ සියලු සෙබළුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමකට ගෙනගොස් එකාමෙන් කටයුතු කරන තැනට කටයුතු සැලස්වීම මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ක්‍රියාදාමය මේ යුද්ධය දිනා ගන්නට හෙතු වූ සාධකයක් විය.

අද දෙමළ ජාතික සන්ධානය කුමක් කීවත් යුද්ධය අවසන් වී සිය පළමු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උතුරේ දෙමළ ජනතාව මහත් සතුටින් සමරනු දක්නට ලැබුණේ කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන ගර්ජනවලින් මිදී නිදහස් අවුරුද්දක් සමරන අයුරුය. එහි එක් අවුරුදු සැමරුමකට ශවේන්ද්‍ර සිල්වා ද සහභාගි විය. ඒ පුනරින්හි දෙමළ ජනතාවගේ දෙමළ හා සිංහල අවුරුදු සැමරුමටය. පුනරින් යනු 58 වැනි සේනාංකයේ මෙහෙයුම් ගමන් මාර්ගයේ වෙනසක් ඇති කරවූ ප්‍රදේශයක් විය. විශාල ජනකායක් සහභාගි වූ එම සිංහල දෙමළ අලුත් අවුරුද්ද තිස් වසරක් පුරා ජනතාවට අහිමි කර තිබූ නිදහස සාමය සමඟිය හිමි වූ වසරක් විය. එදා මේ පිළිබඳව අදහස් දැක් වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ මෙය සාමාන්‍ය දෙමළ ජනයා ලැබූ ජයග්‍රහණයක් බවය.

යුද්ධයේ ජයග්‍රහණය සාමාන්‍ය දෙමළ ජනතාව ලද ජයග්‍රහණයක් වන විට එහි පරාජය අත්විඳ ඇත්තේ දෙමළ ජාතික සන්ධානය හා කොටි හිතවාදී හා වෙනත් මානව හිමිකම් යැයි කියාගත් සංවිධානය. ඒ සියලු සංවිධානයන්ට අනුග්‍රහය ලැබුණේ එක්සත් ජාතික පක්ෂයෙන් යැයි එවකට දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් පැවතිණි. අද ශවේන්ද්‍ර සිල්වාට ඇත්තේ එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමට එරෙහි විරෝධයකි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථාවට උචිත ආකාරයෙන් මෙවන් අති දක්ෂ, ජාතික ආරක්ෂාව කෙරෙහි ඉහළම දැනුමක් අවබෝධයක් ඇති ඉහළ හමුදා නිලධාරියකු යුද හමුදාපති ලෙස පත් කිරීම රටේ සමස්ත ජනතාවගේම පැසසුමට ලක්ව ඇත.

 

Rate this item
(0 votes)