May 20, 2024

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ගැන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනමතය විමසයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඩුවම ලබාදීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව ගැන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනමතය විමසා තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය පසුගිය 24 වනදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණ භූමියේ දී ආරම්භ කෙරිණි. පසුගිය 27 වනදා දක්වා එම ප්‍රදර්ශනය පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ සුවිශේෂී අවස්ථා ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශනයක්ද එම ප්‍රදර්ශන කුටියේදී පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව පිළිබඳ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතා අදහස් විමසීමට කටයුතු කළ අතර ඊට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවූ බව එම මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම ජන මතය අනුව සියයට 94.77ක්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පක්ෂව සිය මතය ප්‍රකාශයට පත් කර තිබූ අතර 25746 දෙනෙකු ඊට සිය මතය ප්‍රකාශ කර තිබිණි. මරණීය දණ්ඩනය ලබාදීමට විරුද්ධව 1422 දෙනෙකු සිය මතය ප්‍රකාශ කර තිබූ අතර එය සියයට 5.23ක ප්‍රතිශතයකි. ඒ අනුව අති බහුතර ජනතාවක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට සිය කැමැත්ත ලබා දී තිබේ. ආගමික නායකයන්, ආරක්ෂක අංශ නිලධාරීන්, පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම විවිධ වෘත්තිකයන් සහ පොදු ජනතාව විශාල පිරිසක් දිනපතා ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි අතර ඔවුන් සියලු දෙනාගේ දැඩි අවධානයක් මෙම මත විමසීම වෙනුවෙන් යොමුව තිබීම විශේෂත්වයකි.

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ග්‍රාමශක්ති, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ, වකුගඩු රෝග නිවාරණ, ජාතික ආහාර නිෂ්පාදන, පරිසර සංරක්ෂණ, දරුවන් සුරකිමු, රට වෙනුවෙන් එකට සිටිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා, කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් මඟින් සිදු කෙරෙන පුළුල් ජනතා මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීම සහ තොරතුරු ලබාදීම මෙහි දී සිදු කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

එමෙන් ම ජනතාවගේ ගැටලු ජනාධිපතිවරයාට සෘජුව ඉදිරිපත් කළ හැකි ‘ජනපතිට කියන්න’ වැඩසටහන ද මෙහිදී ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර අනුරාධපුර නගරයේදීද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබේ. එහිදීද මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව සියයට 98ක් සිය මතය ප්‍රකාශ කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 July 2019 12:14