May 20, 2024

ලංකාවේ මරණ දඩුවමට විරුද්ධ රිචඩ් බ්‍රැන්සන් මරණ දඩුවම ක්‍රියාත්මක රටවල් සමග ගනුදෙනුවක?

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවත් මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව “මානව හිමිකම් පිළිබඳ ඔරලෝසුව ආපසු හරවන“ බවත් බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු වන රිචඩ් බ්‍රැන්සන් මහතා පවසයි.

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේවන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

සිය රට සම්බන්ධයෙන් තෝරාගෙන ඇති හානිකර මාර්ගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එසේ නොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාව, රටවල් සහ ව්‍යාපාර එක හා සමානව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන අතර දියුණු යැයි කියන රටවල් පවා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබෙන බවත් සිංගප්පූරුව, චීනය, ඇමරිකාව, මැද පෙරදිග රටවල්වල මරණ දඩුවම ක්‍රියාත්මක වෙන බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් එම සියලුම රටවල් අමතක කර ලංකාවේ ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කරන ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දීම පිළිබඳ රිචඩ් බ්‍රැන්සන් මහතා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුදුම සහගත බවත් ලංකාවට ගැන දැක්වූ ප්‍රතිචාරය මරණ දඩුවම ක්‍රියාත්මක බටහිර රටවල්වලට අදාල නොවන්නේ මන්දැයි දේශපාලන විචාරකයින් සඳහන් කරයි.

මේ අතර රිචඩ් බ්‍රැන්සන් මහතාගේ ව්‍යාපාර ජාලය මරණ දඩුවම ක්‍රියාත්මක කරන රටවලද ව්‍යාපාර කටයුතු සිදු කරන අතර ඔහුද එම රටවල සංචාරයට ගොස් තිබේ. ඉරානය තුළ 2016 වසරේදී පුද්ගලයින් 567 දෙනෙකු මරණීය දණ්ඩනයට ලක්කර ඇති අතර එය 2015 වසරේදී 977ක් විය. එලෙස මරණ දඩුවම ක්‍රියාත්මක රටවල් වල පවා රිචඩ් බ්‍රැන්සන් මහතා ව්‍යාපාර ගනුදෙනු කරන අතර ඉරානයේද ඔහු සංචාරය කර තිබේ.

මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳිමින් සිටින සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ මතය වී ඇත්තේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ඉතා හොඳ තීන්දුවක් බවත් රට වෙලාගෙන සිටින මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට බේරා නොගතහොත් රටේ අනාගත පරම්පරාව දරුණු තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 June 2019 03:41