April 27, 2024

ශුක්‍රා මුනාවර් යථාර්ථයක්ද? මිත්‍යාවක්ද?

February 01, 2021

2021ට හා හා කියා පායපු තරුව ශුක්‍රා මුනාවර්ය. 17 හැවිරිදි වියේ පසු වන ඇය මේ වන විට චරිතයකි. සමාජ පූර්වාදර්ශයකි. සමාජ මග පෙන්වන්නියකි.

ශුක්‍රා මුනාවර් සිරස ලක්ෂපතියේ දිනපු ලක්ෂ විස්ස ගැන විවිධ කතා නිර්මාණය වී තිබේ. පිරිසක් කියන්නේ ඇයගේ දක්ෂතාවය නිසාම ඇය මෙම තරගය ජය ගත් බවය. ඒ අතර ශුක්‍රා මුනාවර් සිරසේ ප්ලාන්ට් එකක් බව, ප්‍රොජෙක්ට් එකක් බව කියන පිරිසක් ද සිටි.

රට ප්‍රජාතන්ත්‍රවාදීය. භාෂණයේ නිදහස තිබේ. රටවැසියාට තමන් කැමති දෙයක් කීමේ අයිතිය තිබේ. ඔය අයිතිය මත ඇතමුන් කට කැඩිච්ච කතා කියන අවස්ථාද එමටය.

දැන් ශුක්‍රා මුනාවර් ජයග්‍රහණය කොට අවසන්ය. එය දැන් අතීතයට අයත්ය. දැන් තිබෙන්නේ ශුක්‍රා මුනාවර් ජයග්‍රහණය පිළිබඳව තාර්කික කියවීමක් කිරිමය.ඉන් ශුක්‍රා මුනාවර් යථාර්ථයක් ද? නැතිනම් මිත්‍යාවක්ද? යන්න තේරුම් බේරුම් කර ගැනීමට බැරි නැත.

ශුක්‍රා මුනාවර්ගේ ජයග්‍රහණය තුළින් ඉස්මතු වන තාර්කික කරුණු කිහිපයක් තිබේ.

ඉන් පළමුවැන්න මුස්ලිම් සමාජය කෙරෙහි සිංහල සමාජය තුළ තිබෙන විරෝධයය. පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග මහා ජාතියේ මුස්ලිම් විරෝධය වඩාත් ප්‍රබල ප්‍රබල විය. බරපතළ විය. එම විරෝධය දේශපාලනයටද ප්‍රබල බලපෑමක් එල්ල කළ අතර 2019 ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ජනපති වීමටද ඉවහල් වූ එක් ප්‍රධානම සාධකයක් විය.

දැන් ශුක්‍රා මුනාවර්ගේ ජයග්‍රහණයෙන් වඩාත් ප්‍රබෝධයට පත්ව තිබෙන්නේ මුස්ලිම් විරෝධී මේ සිංහල ජන සමාජයයි. තත්ත්වය කෙතරම් සංවේදීදයත් දැන් සිංහල අම්මලා තාත්තලා කියන්නේ ශුක්‍රා මුනාවර් මුස්ලිම් දියණියක් පමණක් නොව සිංහල දියණියක්ද වන බවය. සිංහල අම්මල තාත්තල දැන් තමන්ගේ දරුවන්ට කියන්නේ හැදෙනව නම් ශුක්‍රා මුනාවර් වගේ හැදෙන්න කියාය. ගිහියන් පමණක් නොව දොස්තර සාෆි, රිෂාඩ්, රවුෆ්, හිස්බුල්ලා, සාලිලාට මුස්ලිම් අන්තවාදී ලේබලය ගැසූ භික්ෂු පරපුරේ සංඝයා වහන්සේලා ශුක්‍රා මුනාවර් දැරිවිය බලන්න යන්නේ තෑගි බෝගත් අරගෙනය.ඒ අතරම දේශපාලනඥයන්ද ශුක්‍රා මුනාවර්ව දැක බලා ගැනීමට තෑගි බෝගත් රැගෙන ඇගේ නිවෙස බලා යෑමද දක්නට ලැබෙන්නකි.

එහෙම බලද්දි ශුක්‍රා මුනාවර් දැරියගේ ජයග්‍රහනය සමාජයේ ප්‍රබල මත වෙනසකට හේතු වී ඇති බව තහවුරුය.

දෙවැන්න ශුක්‍රා මුනාවර් මෙම තරඟයට පැමිණීමේ අරමුණය. ඇය මෙම තරඟයට පැමිණියේ ලක්ෂ විස්සක් දිනා ගැනීමේ අරමුණින් නොව අන්තර්ජාල අධ්‍යාපනය ලැබීම සඳහා ලැප්ටොප් එකක් මිලට ගැනීම සඳහා අවශ්‍ය කරන තරමේ ප්‍රතිපාදනයක් දිනා ගැනීමටය. මේ කතාව ඇය තරගය අතරතුර කිහිප වතාවක් කියන අයුරු දක්නට ලැබිණ.

ඒ හරහා ඇය සමාජයට පෙන්වා දෙන්නේ වසංගත තත්වය හමුවේ පාසැල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙන ලබාදෙන ආණ්ඩුවේ ක්‍රමවේදයේ ඇති දුෂ්කරතාවයය. ඒ තුළ දරිද්‍රතාවයේ ප්‍රශ්නය පමණක් නොව දේශපාලනයේ කතාවක් නැතුවාමත් නොවේ.

තුන් වැනි කරුණට මේ දෙවැනි කරුණෙන්ම පැමිණීමට පිළිවන. පවතින වසංගත තත්වය හමුවේ වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භුමිදානය කරනවද? ආදාහනය කරනවද? යන ආගමික සම්ප්‍රදායන් මුල්කරගත් ප්‍රශ්නයක් මේ වන විට මුස්ලිම් ජාතිකයන්ට තිබේ. ඔවුන්ට ඒ ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුවත් සමගය. මෙම ප්‍රශ්නය මත තරුණ මුස්ලිම් දරුවන් ආයුධ අතට ගෙන යළි අන්තවාදයට යොමු වීමට හැකි බවට මුස්ලිම් දේශපාලන නායකත්වය මෙන්ම ආගමික නායකත්වය කිහිප වතාවක්ම ආණ්ඩුවට අනතුරු අඟවා ද තිබේ.

ශුක්‍රා මුනාවර් සිය ජයග්‍රහණය ලබන්නේ මෙම ප්‍රශ්නය මුල්කොට ගෙන සිංහල බහුතරයකගේ කැමැත්තෙන් බලයට පැමිණි ආණ්ඩුව හා ඇය නියෝජනය කරන මුස්ලිම් සමාජය අතර බරපතල මත ගැටුමක් තිබෙන මොහොතකය. භූමිදානය ද? ආදාහනය ද? පිළිබඳ ආණ්ඩුවේ දැඩි ස්ථාවරය ආණ්ඩුවම බලයට ගෙන ආ බහුතර සිංහල සමාජය තැකීමකට ලක් නොකරනවා යැයි යන පණිවිඩයද මෙම දැරිවියගේ ජයග්‍රහනය හරහා සෘජුවම නොවූවද වක්‍රාකාරව සමාජයට ගලා යමින් තිබේ.

ඉතා වැදගත් වන්නේ හතරවෙනි කාරණයයි. ශුක්‍රා මුනාවර් එම තරඟයේදී කළ ඇතැම් ප්‍රකාශ හරහා ඇය නියෝජනය කරන මුස්ලිම් ජන සමාජය ආගමික පදනමක් තුළ ක්‍රියාත්මක කරන ඇතැම් නීති රීතීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන ලදී.

ඒ තරගය පුරා ශුක්‍රා මුනාවර් කියූ එක් වැදගත් කාරණයක් වූයේ "නිදහස" යන සංකල්පයයි. දරුවනට කුඩා කල සිටම නිදහස ලබා දීමේ වැදගත්කම ඇය පුන පුනා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ඇය තුළ වූ ක්‍රීඩාවට, කඳවුරු වලට සම්බන්ධ වූ අත්දැකීම් ද සහිතවය.

අප දන්නා පරිදි පුරුෂ ආධිපත්‍ය මත ගොඩනැගී ඇති මුස්ලිම් සංස්කෘතිය තුළ කාන්තාවට නිදහස යන්න හුදු සිහිනයක්ම පමණි. ඒ බව කාටත් වඩා හොඳින් ඇය දන්නීය. එසේ දැන දැනත් ඇය එය පුන පුනා ප්‍රකාශ කළේ මුස්ලිම් සමාජය තුළ කාන්තාවට නිදහස ලැබිය යුතුව තිබුණේ මීට බොහෝ කලකට පෙර යන පණිවිඩය ද සිය සමාජයටම ලබා දෙමිනි.

එහෙත් ශුක්‍රා මුනාවර් කියූ ඒ අදහස් වලට එරෙහිව යමක් කිරීමට නොහැකි තරමටම මුස්ලිම් සමාජය ද දැන් හිර වී තිබේ. ඒ ඇය මුස්ලිම් සමාජය කෙරෙහි මහා ජාතියේ තිබූ විරෝධය යම්තාක් දුරකට අවම කිරීමට සමත් වීම මත ශුක්‍රා මුනාවර් අත තැබීමට යාම තමන්ටම පාරාවළල්ලක් වන බව මුස්ලිම් සමාජය තේරුම් ගෙන තිබෙන නිසාය.

විශේෂයෙන් ම මුස්ලිම් දේශපාලන නායකයින්ට හා ආගමික නායකයින්ට සාකච්ඡා වට ගණන් පවත්වා කර ගන්නට බැරි වූ දේ, විසඳ ගන්නට බැරි වූ බොහෝ දේ ශුක්‍රා මුනාවර් විනාඩි අනූවකට වඩා අඩු කාලයක් තුළ ඇඟට පතට නොදැනීම මුස්ලිම් සමාජයට විසඳා දුන්නේය.

මේ කරුණු දෙස බලද්දී මිලියන දෙක දිනනවාට වඩා වැඩි කොටසක් ශුක්‍රා මුනාවර් හරහා සිදුව තිබෙන බව නම් පැහැදිලිය. ශුක්‍රා මුනාවර් කියන්නේ සිරසේ ප්ලාන්ට් එකක් බව ප්‍රොජෙක්ට් එකක් බව ඇතැමෙක් කියනවා ඇත්තේ ඔන්න ඔය නිසාය.

ශුක්‍රා මුනාවර් දක්ෂ දරුවෙකු බව සැබෑය. එහෙත් එම දක්ෂ කමින් නිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ එය නිසි කළමනාකරණයකට යටත් කොට අවශ්‍ය ඉලක්කය කරා මෙහෙය වුවහොත් පමණි. වැඩසටහන මෙහෙය වූ චන්දන සූරියබණ්ඩාර ඒ වැඩේ හරියටම කර තිබෙන බව නම් පැහැදිලිය.

ශුක්‍රා මුනාවර් මෙම වැඩසටහනට සහභාගි වීම, තරගකාරි පුටුවට එනම් හොට් සීට් එකට පැමිණීම අහම්බයක් නොව මූලික සූදානමකට අනුව කළ එකක් බව චන්දන සූරිය බණ්ඩාරයන්ගේ තිර පිටපතට අනුව පැහැදිලි වන්නකි.

මෙම ලිපියට මාතෘකාව යොදා ඇත්තේ ශුක්‍රා මුනාවර් යථාර්ථයක්ද? මිත්‍යාවක්ද? කියාය. සරලව කියනවා නම් ශුක්‍රා මුනාවර් ඇත්තක්ද? මැවිමක්ද? කියන එකය. මේ දෙකෙන් ශුක්‍රා මුනාවර් අයත් වන්නේ කුමන පැත්තටද කියන එක තීරණය කිරීම මෙම ලිපිය කියවන ඔබට බාරය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2021 10:34