April 26, 2024

ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සූදානම්! මැති ඇමැති සහය ගෙන ආණ්ඩු පෙරළියට සැලසුමක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණු පසු දේශපාලන තීරණයක් ගැනීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට හැකියාව පවතීදැයි සොයාබැලීම සඳහා නීතිඥවරුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පෙරේදා (14) තීරණය කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිල නිවසේ පෙරේදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි නීතිඥයන් නියෝජනය වන පරිදි එම විශේෂඥ කමිටුව ඉතා ඉක්මනින් පත් කර, එහි තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට පක්ෂ නායකයන් තීරණය කළ බවත් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඒ සම්බන්ධව සාකච්ඡා කර දේශපාලන තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය වන්නේ විපක්ෂ නායක ධූරය නොව සිය මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය ලෙස පිලිගැනීම බවත් මන්ත්‍රීවරුන් 70ක් සිටින කණ්ඩායම විපක්ෂය ලෙස පිළිනොගන්නේ මන්දැයි තමාට ගැටලුවක් බවත් ඔහු ප්‍රශ්න කළේය.

ආණ්ඩු පෙරළියක් ඇති කිරීම ඒකාබද්ධයේ සැලසුම ව්‍යර්ථ වී ඇත්දැයි අප කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසූවේ මෙම පාර්ලිමේන්තුව තුලම ආණ්ඩු පෙරළියක් ඇති කිරීමට සූදානම් බවයි.

මේ වනවිට ආණ්ඩු පක්ෂයේ පිරිසක් විපක්ෂයට එක් වීමට සූදානම් බවත් තවත් පිරිසක් ආණ්ඩුවේ සිටිමින් සහය පල කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා තවත් පිරිසක් ආණ්ඩුවේ පනත් සම්මත කිරීමේදී පවා ඡන්ද දීමෙන් වැලකී සිටීමට සූදානම් බවත් ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ බහුතරය බලය හීන කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

මේ අතර ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සීමා නිර්ණය කමිටු වාර්තාවට තුනෙන් දෙකේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ අනුව සීමා නිර්ණය වාර්තාව නිවැරදි කර යළි කඩිනමින් ගෙන ආ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

ස්වාධීන වුණොත් මන්ත්‍රීකම හබක්

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු ස්වාධීන වුවහොත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් වන බවයි.

පක්ෂ සාමාජිකත්වය අහෝසි වී ගියහොත් මන්ත්‍රී ධුරය අහෝසි වී යන බවත් මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ හෝ 16 කණ්ඩායමේ කිසිවෙකුටත් එවන් තත්ත්වයක් ඇති නොවීමට උපරිම උත්සහ ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණද, සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවල මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීම සම්බන්ධව ගැටලුවක් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීන වීමේදී මතුවිය හැකිද යන්න සම්බන්ධව කමිටුවේ විශේෂ අවධානය යොමුවනු ඇත.

Rate this item
(4 votes)
Last modified on Friday, 17 August 2018 15:14