April 27, 2024

මහින්දට CIDයෙන් කැඳවීමක්! ප්‍රශ්න කිරීම නිල නිවසේදීම

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ ආමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබන 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු මෙම දැනුම් දීම එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසින් කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසට ගොස් පසුගිය 12 වනදා භාර දී තිබේ.

හිටපු ජනාධිපතිවරයාට මෙම දැනුම්දීම කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස සිව්වරක්‌ම කළ දැනුම්දීම්වලට යහපත් ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම නිසා බව පොලිස්‌ මූලස්ථානය පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන දිනයක දැනුම් දෙන වේලාවක රාජපක්‍ෂ මහතාගේ නිවසේදී මෙම ප්‍රශ්න කිරීම් සඳහා සූදානම්වී සිටින ලෙසත් ඒ මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියේය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා ගෙන් ද මීට පෙර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

එම ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත හිටපු ජනාධිපතිවරයාගෙන් ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටි කීත් නොයාර් මහතා ඉකුත් රජය සමයේ පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදී තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 August 2018 11:29