April 27, 2024

ලබන 23වැනිදායින් පසු පෙරළියට වැඩ අල්ලයි! ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා එක්වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රී කොළඹ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පවත්වා තිබේ.

මෙහිදී එම කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයත් සමග ආණ්ඩුවේ කටයුතු නොකිරීමට තීන්දුවක් ගෙන තිබේ.

ඒ අනුව ප්‍රථමයෙන්ම මහනුවරට ගොස් මහ නාහිමිවරුන් දැනුවත් කිරීමටත්, දෙවනුව පක්ෂ නායකයන් හා සාකච්ඡා කිරීමට හා තෙවනුව විවිධ කණ්ඩායම් හා සාකච්ඡා පැවැත්වීමට එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

එම සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ “අපේ ඉදිරිවැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරි මාස කිහිපයේදී අපි වැඩ කරන්නේ කොහොමද කියා සාකච්ඡා කළා. මුලින්ම අපි මහනුවරට ගොස් මහ නාහිමිවරුන් බැහැ දකිනවා.“

දෙවනුව අපි පක්ෂ නායකයන් බැහැ දකිනවා. ඉන් අනතුරුව විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරනවා. විරුද්ධ පක්ෂයක් ලෙස අපි ආණ්ඩුවේ, එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා කලාපයන් පිළිබඳව අපි කොහොමද මුහුණ දෙන්නේ. මේ රටේ ජනතාවට වන පීඩනය සම්බන්ධයෙන් අපි ජනතාවගේ පැත්තෙන් කළ යුතු කාර්ය භාරය පිළිබදව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

මේ මස 23 දායින් පසුව අපේ කාර්යභාරය ආරම්භ කරනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ලෙස විරුද්ධ පක්ෂයේ කටයුතු කරනවා. කොහොමවුණත් අපි එක්සත් ජාතික පක්ෂයත් සමග දීග කන්න ලෑස්ති නෑ. ඒක අපි තීන්දුවක් අරගෙන ඉවරයි. “ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා මෙරටට පැමිණි විගස බාරදීමට බලාපොරොත්තු වන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාට එම වාර්තාව බාර දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සඳහන් කළේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ මැති සබයේ රතු පලස මතින් ආණ්ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට ගොස් විපක්‍ෂයේ අසුන් ගැනීමට ක්‍රියාකරන බවයි.

විපක්‍ෂයේ තම කණ්ඩායමට අසුන් වෙන් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන් බවත් ඊට අදාළ කටයුතු මේ වන විට දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදුකරගෙන යන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙම 16 දෙනාගෙන් කිහිපදෙනකුම එදින පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද ටී.බී. ඒකනායක මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 April 2018 11:20