April 26, 2024

ඒකාබද්ධයෙන් ශ්‍රීලනිපයෙන් කොන්දේසි පිට කොන්දේසි: ලබන සතියේදී යෝජනාවලියක්

November 21, 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන කණ්ඩායම් දෙකම මේවන විට කොන්දේසි ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් ඒකාබද්ධ විපක්ෂයට කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපය ඉදිරිපත් කළ යෝජනා තුන වන්නේ දෙපාර්ශ්වය එක්ව පොදුජන එක්සත් පෙරමුණෙන් තරග වැදීම හෝ ශ්‍රීලනිපයත්, ඒකාබද්ධ විපක්ෂයත් තමන්ට වාසි සහගත කොට්ඨාස වෙන වෙනම බෙදාගෙන නිතරග ගිවිසුමක් යටතේ තරග වැදීම හෝ සියලු දෙනා එක්ව ශ්‍රීලනිප යටතේ තරග කිරීමයි.

මෙම යෝජනා ඒකාබද්ධ විපක්ෂයට ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර, මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකාබද්ධයේ කොන්දේසිය ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට දැනුම් දී ඇත.

ලබන සතියේදී යෝජනාවලියක්

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ අදහස්ද සලකා බලා යළි සාකච්ඡා කිරීම සඳහා වූ මූලික කරුණු ඇතුළත් යෝජනාවලියක් ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට වාර්තාවේ.

මෙම සාකච්ඡා සඳහා පත්කර ඇති ඇමැති අනු කමිටුවේ නායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු සකස් කර ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 November 2017 11:39