April 27, 2024

ශ්‍රීලනිප ඇමැතිවරුන්ටත් නොදන්වා ජනපති එජාප ඇමැතිවරු සමග හදිසි රහස් හමුවක්

November 19, 2017

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර විශේෂ රහස්‌ හමුවක්‌ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පෙරේදා (17) පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පැයකට ආසන්න කාලයක්‌ පැවැති මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේදී පක්‍ෂ දෙක වෙන වෙනම තරග කිරීම පිළිබඳව මෙහිදී තවදුරටත් අවධානය යොමුවී තිබේ.

එම විශේෂ හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාපයේ කැබිනට්‌ ඇමැතිවරුන් පමණක් සහභාගී වී ඇති අතර ජනාධිපතිවරයා එම සාකච්ඡාව සඳහා වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු හෝ ශ්‍රීලනිප ඇමැතිවරයකු සම්බන්ධ කරගෙන නොමැති බව වාර්තා වේ.

මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන්ම තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ පිළිබඳව ද දෙපාර්ශ්වය අතර මෙහිදී සාකච්ඡා පවත්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

2018 ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳව පාර්ලිමේන්තුවේ පෙරේදා (17) පැවැති අයවැය විවාදයේදී සභාව අමතා කතා කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම හමුවට සහභාගි වී ඇති බව වාර්තා වේ.

මහින්දගෙන් මෛත්‍රීට කොන්දේසියක්

මේ අතර ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට නම් ආණ්ඩුවේ අමාත්‍යධූර දරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඉන් ඉවත් විය යුතු බවයි.

එසේ නොමැතිව ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසී ය.

ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 20 November 2017 10:18